ප්‍රදාහය යනු සිරුරට සිදුවන යම් අනතුරකදී හෝ ආසාදනයකදී ස්වභාවිකවම සිරුරේ ඇතිවන ප්‍රතික්‍රියාවක්.මෙය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හානිකර විෂබීජ ඇතුළු ආගන්තුක ද්‍රව්‍ය වලින් සිරුර ආරක්ෂා කරගැනීමට ක්‍රියාත්මක කරන උපක්‍රමයක් වැනියි. සිරුරට යම් ආගන්තුක ද්‍රව්‍යක් ඇතුළු වුවහොත් හෝ සිරුරට හානිවීමකදී (කැපුම් හෝ තුවාල වැනි අනතුරකදී) සිරුරේම හටගන්නා වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිරුර තුළ මෙම ක්‍රියාවලිය සිදුවෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය අදාළ ස්ථානයට රුධිරය,ප්‍රතිදේහ,ප්‍රෝටීන් නිකුත්කරයි.
ප්‍රදාහයේ ප්‍රතිඵලය ලෙස සිරුරේ එම ස්ථාන හෝ අවයවයන් වේදනාදීම,ඉදිමීම,රතුවීම, රත් (උණුසුම්) වීම සහ එම ප්‍රදේශ වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවීම වැනි තත්වයන් ඇතිවිය හැකියි. ආසාදනයකින් හෝ අනතුරකින් සිරුර ප්‍රකෘතිමත් වෙමින් ඇතිවන පෙන්නුම් කරන සංඥා ලෙස ද මේවා හඳුන්වන්නට හැකියි. හානිකර ද්‍රව්‍ය සිරුරෙන් ඉවත්කිරීම හා ආසාදන ,තුවාල හා හානි වූ පටක සුවකිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රදාහය නම් මෙම ප්‍රතිචාරය ඉතා වැදගත් වෙයි. සිරුර සුවවීමේ ක්‍රියාවලිය සඳහා තීව්‍ර හෙවත් කෙටිකාලීන ප්‍රදාහය (acute inflammation) අත්‍යවශ්‍ය වුවද, එය දිගුකලක් පැවතීම හෙවත් නිදන්ගත ප්‍රදාහය (chronic inflammation) ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස්, ඇල්සයිමර්ස්, දියවැඩියාව,හෘදරෝග වැනි බරපතල රෝග ගණනාවකටම හේතුසාධක විය හැකියි.
එමෙන්ම අපේ සිරුර වියපත් වීම ද වේගවත් කරවයි.

සිරුරේ සෛල ප්‍රදාහයෙන් ආරක්ෂා කරගැනීමට සිරුරට නිසි පෝෂණය ලැබීම ඉතා වැදගත්ය. ප්‍රදාහය වැළැක්වීම සහ එම තත්වයන් ඇතිවීමට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ එදිනෙදා ආහාර වේලට එක්කරගත යුතුම ආහාර පාන ලැයිස්තුවක් මෙන්න:
වොල්නට් වොල්නට් වල ඇල්ෆා-ලිනොලනික් අම්ල බහුල වන අතර ( ශරීරයේ DHA සහ EPA බවට පරිවර්තනය වූ ඔමේගා -3 මේද අම්ල වේ), ආහාරමය ඇල්ෆා-ලිනොලනික් අම්ලය ප්‍රදාහය සමනය කිරීමට සහ ඊට ලක්වීමේ අවදානම් සහිත සමහර රෝගීන්ගේ සෛල ආරක්ෂා කිරීමට ගුණදෙන බව ප්‍රතිඵල පෙන්වා ඇත. ෆෝලෙට්, විටමින් E,තන්තු, පොටෑසියම් ද බහුලයි.මේවාට හෘද රෝග අවදානම් අවම කළ හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙයි.ආමන්ඩ් සහ රටකජු වලට ද මීට සමාන ගුණ ඇත.කෙසේ වෙතත්, අනෙකුත් ඇට වර්ග මෙන්ම වොල්නට් වල මේද ප්‍රමාණය ඉතා ඉහළ බැවින් ඒවා මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව මතක තබා ගන්න.
සුදුලූනු-සුදුලූනු වල කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීමේ ගුණ බහුල නිසා හෘද සෞඛ්‍යයට ඉතා හිතකර බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. එමෙන්ම ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත්වීම ද අවම කරයි. රුධිර කැටිති වර්ධනය වීම ද වළකයි. එදිනෙදා ආහාර සැකසීමේදී ඒවාට සුදුලූනු ද එක්කරගන්න.
හණ ඇට -හණ ඇට වල ඔමේගා -3 මේද අම්ල බහුල වන අතර කලින් සඳහන් කළ පරිදි ඒවා ප්‍රබල ප්‍රති- ප්‍රදාහක සංයෝග වේ. ඒවායේ ගැමා-ලිනොලනික් අම්ලය ද අඩංගු වේ ( එය ප්‍රයෝජනවත් ඔමේගා -6 මේද අම්ල ප්‍රභේදයක් වන අතර සිරුර තුල ප්‍රති-ප්‍රදාහක පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියා කරයි. ලිග්නන් නම් ඉහළ මට්ටමේ තන්තු පෝෂණයෙන් ද අනූනයි. රුධිර පීඩනය අඩුකිරීමට ක්‍රියා කරන අතර කොලෙස්ටරෝල් මට්ටම් ද අඩු කරවයි.
බෙරි -ශරීරයේ ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති- ප්‍රදාහක සංයෝග ලෙස ක්‍රියා කරන බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි ,බ්ලැක්බෙරි,රස්ප්බෙරි වැනි බෙරී වල ෆ්ලේවනෝල්, ඇන්තොසියානින්, හයිඩ්‍රොක්සිසින්නමික් අම්ල වැනි විවිධ ෆයිටො පෝෂක ඉතා පොහොසත් ය. ප්‍රතිඔක්සිකාරක ද බහුල නිසා පිළිකා,ප්‍රජානන හැකියා දුර්වලවීම,හෘද රෝග අවදානම් ඉහළ යාමට එරෙහිව සිරුරට ගුණ දෙයි.
කුරුඳු මෙම ඖෂධ ගුණයෙන් අනූන කුළුබඩුව රුධිර සීනි මට්ටම් සමතුලිත කරයි.මතකශතිය වඩවයි.ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල නිසා ඔක්සිකාරක ආතතියට එරෙහිව සිරුර ආරක්ෂා කරයි;ආසාදන වළකයි;පටක හානි අළුත්වැඩියා කරවයි.
සැමන් සැමන්,සාඩින්,මැකරල්,හුරුල්ලන් වැනි මේද මාලු වල ඔමේගා-3 මේද අම්ල බහුලයි.මේවායේ ප්‍රබල ප්‍රතිප්‍රදාහක ගුණ අඩංගුයි.සිරුරට ඒවා තනිව නිපදවිය නොහැකි නිසා ආහාර පාන මඟින් ඒවා සිරුරට ලබාගැනීම කළ යුතුයි. පළමු කාණ්ඩයේ දියවැඩියාව, රූමටොයිඩ් ආතරයිටිස් වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට මෙවැනි ආහාර ඉතා ගුණදායීය. ඔමේගා-3 මේද අම්ල මොළයේ ක්‍රියාකාරීත්වය නීරෝගී වීමට උපකාර කරයි.
අලිගැටපේර අලිගැටපේර වල සෛල වල ආරක්‍ෂාව සඳහා අතිශයින්ම පුදුමාකාර ගුණ දෙන ෆයිටොස්ටෙරෝල්, කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක (ලුටීන්, බීටා-කැරොටින්, ඇල්ෆා කැරොටින් ආදිය ඇතුළුව), විටමින් C සහ E, මැන්ගනීස්, සෙලේනියම් සහ සින්ක්, ඔමේගා -3 මේද අම්ල සහ තවත් බොහෝ ප්‍රයෝජනවත් සංයෝග වැනි විවිධ ප්‍රති- ප්‍රදාහක පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. සන්ධි වල ප්‍රදාහය තත්වයට ඉතා ගුණදායී ආහාරයක් ලෙස හැඳින්වෙයි.ඒක අසංතෘප්ත මේද නම් හිතකර මේද බහුල නිසා හෘද සෞඛ්‍යයට ද ඉතා හිතකරයි.

ග්‍රීන් ටී ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල බව ප්‍රචලිත කරුණක්.දිනපතා ග්‍රීන් ටී පානය කිරීම ඔබේ සිරුර හැඩ කර බර ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සහය වෙනවා වගේම සිරුරේ ඇතිවිය හැකි ප්‍රදාහක තත්වයන් ද පාලනය කරයි.පිළිකා, ඇල්සයිමර්ස්, ස්ථූලතාව,හෘද ගැටලු ඇතුළු බොහෝ රෝගාබාධ වර්ධනය වීමේ අවදානම් වලින් ආරක්ෂා කිරීමේ හැකියාව පවතියි.
චෙරි-පැණි රස හා ඇඹුල් චෙරි වල ප්‍රදාහක රුධිර ප්‍රෝටීන මට්ටම් අඩුකිරීමේ ගුණ බහුල බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.වේදනානාශක ගුණ ද මේවායේ පවතියි.ආතරයිටිස්,රක්තපාතය වැනි සන්ධි ආබාධ වල අපහසුතා සමනය කිරීමට ද ගුණ දෙයි.හානිකර මුක්තකණ්ඩ සිරුරේ සෛල වලට හානි කිරීම වළකන සංඝටක රැසක් චෙරි වල අඩංගු බව අධ්‍යයන වල සඳහන්.සිරුරේ මෙලටොනින් මට්ටම් වැඩිකරවන නිසා ඔබේ නින්දේ ගුණාත්මක බව වැඩිවෙයි. නින්ද ප්‍රදාහය පාලනයට ඉතා වැදගත් දෙයකි.
පැණිකොමඩු-ලයිසොපින් නම් ප්‍රබල සංඝටක අඩංගු පලතුරු කිහිපය අතුරින් එකක් වන පැණිකොමඩු හානිකර මුක්තකණ්ඩ වලින් සෛල වලට ඇතිවිය හැකි හානි වලට එරෙහිව ඉතා ගුණදායීය.සෛල විකෘතිවීම, පිළිකා වර්ධනය වීම වැළැක්වීමේ හා ඇල්සයිමර්ස් දියවැඩියාව හා හෘද රෝග වැනි රෝගාබාධ අවදානම් අවම කිරීමේ ගුණයක් කොමඩු වල ඇති ප්‍රතිඔක්සිකාරක වලින් සිරුරට ලබාගත හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.
ඉඟුරු ස්ටෙරොයිඩ් නොවන ප්‍රති- ප්‍රදාහක ඖෂධ වල ඉඟුරු වල ඖෂධීය ගුණ තිබෙන බව අධ්‍යයනයන් මඟින් සොයාගෙන ඇත. එහි අඩංගු ජින්ජරෝල් සංඝටක වල ප්‍රතිඔක්සිකාරක,ප්‍රතිප්‍රදාහක,බැක්ටීරියානාෂක හා රෝගකාරක විනාශ කිරීමේ ගුණ බහුලයි. ඔබේ සෛල ප්‍රදාහයට ලක්විමෙන් ආරක්ෂා කරයි. දිනපතා ඉඟුරු තේ පානය කිරීම සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි.
රතු මිරිස් ප්‍රදාහය අඩුකරවන විටමින් C බහුලව අඩංගු වන්නේ රතු මිරිස් වලයි.ඊට අමතරව බයොෆ්ලැවනොයිඩ,බිටා-කැරොටීන්,ක්වර්සටීන්,ලුටලෙයින් වැනි පෝෂක ද බහුලයි.මේවා සිරුරේ සෛල හානිවීම වළකා ප්‍රදාහය පාලනය කරයි.ඇදුම,රූමටොයිඩ් ආතරයිටිස් වැනි ප්‍රදාහක රෝග වලට ගුණදායීය.

අමු ඕට්ස් ප්‍රතිරෝධක පිෂ්ටය (ජීර්ණය නොවී ඉවත්වෙන කාබෝහයිඩ්‍රේටයකි) සහිත ආහාරයක් නිසා බඩවැල් වල හිතකර බැක්ටීරියාවන්ට ද හොඳ ආහාරයකි.ඔවුන් මඟින් නිපදවන විශේෂිත මේද අම්ලයක් මඟින් සිරුරේ ප්‍රදාහය අඩුකිරීම සිදුකරයි.ප්‍රදාහය අඩු නිසා බඩපිපුම ඇතුළු පීඩාකාරී ජීර්ණ ගැටලු ඇතිවීම ද අඩුවෙයි.
කැරට් සිරුර තුළ විටමින් A බවට හැරෙන බීටා-කැරොටින් බහුල කැරට් වල ප්‍රතිඔක්සිකාරක ද බහුලයි.සියක්සැන්තින් හා ලුටෙයින් වැනි පෝෂක ද අඩංගු නිසා පිළිකා වැනි තත්වයන්ගෙන් සිරුරේ සෛල ආරක්ෂා කරයි.කැලරි අඩු මෙන්ම තන්තු ඉහළ ආහාරයක් නිසා බර අඩුකරගැනීමට ද සහය වෙයි.
ඔලිව් තෙල් හෘද සෞඛ්‍යයට හිතකර තෙල් වර්ගයක් ලෙස ඔලිව් තෙල් හඳුන්වයි.ඒක-අසංතෘප්ත මේද වැනි හිතකර මේද වලින් අනූන ආහාර මූලාශ්‍රයකි. රුධිර නාළ වල ක්‍රියාකාරීත්වයට ද හිතකර බලපෑමක් ඇතිකරයි. පොලිෆෙනෝල් ද බහුල නිසා සිරුරේ සෛල ආරක්ෂා කරවන ප්‍රතිඔක්සිකාරක ගුණ සිරුරට ලැබෙයි.ප්‍රදාහය අඩුකරමින්, කොලෙස්ටරෝල් මට්ටම් ද පහත හෙළයි.