Health

අක්මාවේ තෙල් තැන්පත්වී ඇති බව පෙන්නුම් කරන සංඥා 11ක්

කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ලිපිඩ පරිවෘත්තියට දායක වීම, දේහ උෂ්ණත්වය නියාමනයට දායක වීම, රුධිරය ගබඩා කර තබන අවයවයක් සේ ක්‍රියාත්මක වීම,  ඛනිජ ද්‍රව්‍ය  ගබඩා කිරීම, ප්ලස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම මෙන්ම ප්‍රධාන වශයෙන් සිරුරේ විෂහරණ අවයවය සේ ක්‍රියාකිරීම අක්මාව විසින් ඉ‍ටුකරන කෘත්‍යයන් අතර වේ.

සිරෝසිස් යනු කුමක් ද? දිගුකාලයක් තිස්සේ අක්මාවට හානිසිදුවීම හේතුවෙන් , විශේෂයෙන්ම මත්පැන් පානය වැනි අහිතකර සෞඛ්‍ය පුරුදු නිසා එහි ක්‍රමවත් ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවෙයි.මෙහිදි අක්මාවේ නීරෝගි පටක විනාශ වී තුවාල සහිත පටක හටගනියි. අක්මාවේ කැලැල් හටගැනීම සිරෝසිස් (cirrhosis) ලෙස හඳුන්වයි. කාලයක් යන විට අක්මාවේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය නතර වී යයි. අධික මත්පැන් පානය නිසා හා යම් යම් ආසාදනකාරක වැනි විෂ ද්‍රව්‍ය වලට අක්මාව නිරාවරණය වීමෙන් බොහෝවිට මේ තත්වය හටගනියි.මෙසේ ඇතිවන සිරෝසිස් රෝග තත්වය එක්වරම ඇතිවන රෝගයක් නොවන අතර එය කාලයකත් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වන රෝග තත්වයක් බව තේරුම්ගත යුතුයි. 

සිරෝසිස් තත්වයේ අවදානම් පෙන්නුම් කරන සංඥා, පූර්ව රෝග ලක්ෂණ හා එම තත්වය වර්ධනය වීමට බලපාන හේතු ගැන දැනුවත් වෙමු.

අක්මාව මෙම තත්වයට පත්වීමට නම් නිතිපතාම එය බලපෑමට ලක්විය යුතුයි.අධික ලෙස මත්පැන් පානය කරන විට අක්මාව හැකිළී ගොස් ඊට හානිවීම වේගවත් වෙයි.එම නිසා අක්මාවේ කාර්යන් කිසිවක් නිසි පරිදි සිදුනොවන තත්වයකට පත්විය හැකියි.නහර වල සිට අක්මාව දක්වා පෝෂක ‍රැගත් රුධිරය ගමන් කිරීම අසීරුවෙයි.ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහය කරන ධමනි තුළ රුධිර පීඩනය වැඩිවෙයි.රුධිර පීඩනය ඉහළ යාමෙන් නහර තුළ පුපුරායාම හා රුධිරය වහනය වීමට පටන්ගත හැකියි.

සිරෝසිස් තත්වය ඇතිකරවන සාධක මොනවාද?

මත්පැන් කළින් සඳහන් කළා වගේම අධික මත්පැන් ඇබ්බැහිය පුද්ගලයා තුළ අක්මාවේ සිරෝසිස් තත්වය වර්ධනය වීමේ අවදානම ඉහළ නංවයි.බොහෝ විට වසර 10-12ක් පමණ ඊට ගත විය හැකියි.පුද්ගලයා මත්පැන් අධිකව පානය කරන තරමට මෙම අවදානම ද ඉහළ යයි.

හෙපටයිටිස් C මෙය අක්මාවට හානිකරන වෛරස ආසාදන තත්වයකි.ලිංගික සබඳතා හෝ ඉඳික‍ටු,එන්නත්ක‍ටු වැනි දේවල් හරහා ආසාදිත රුධිරය ශරීරගත වීමෙන් සම්ප්‍රේෂණය විය හැකියි.මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අයට ද මෙම අවදානම වැඩියි. වසරකට මෙම ආසාදනයෙන් මියයන පිරිස ද ඉහළයි.

ස්ථූලතාව ප්‍රබල හේතුවක් නොවුණත් සිරෝසිස් තත්වයට මෙහි යම් බලපෑමක් තිබෙයි.ස්ථූලතාව ශරීරයේ අවයව වලට සෘජුවම බලපෑම් මතුකරයි. අක්මාව යනු එසේ බලපෑමට ලක්වන එක් අවයවයක්.සිරෝසිස් නැතත් වෙනත් අක්මා රෝගයක් හෝ මේ බලපෑමින් වර්ධනය විය හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.නිසි පෝෂණයක් නොමැති දුර්වල ආහාර පාන රටාව මෙහිදි ප්‍රධාන වරදකරුවෙක් වෙයි.අක්මා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය සිරුරට නොලැබෙන විට අක්මාව ලෙඩවීමේ අවදානම ඉහළ යයි.

රෝග ලක්ෂණ මොනවාද? කැපීපෙනෙන රෝග ලක්ෂණ කිහිපයක් පහත දැක්වෙයි.

නාසයෙන් රුධිරය ගැලීම සාමාන්‍යයෙන් අක්මා රෝග වලදී මෙවැනි ලක්ෂණයක් පෙන්නුම් කිරීමක් බොහෝ විට දක්නට නොලැබෙයි. එහෙත් සිරෝසිස් තත්වයේදී නාසයෙන් රුධිරය ගැලීම වඩාත් පොදු රෝග ලක්ෂණයක් ලෙස සැළකේ. රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියට සහය වීමට නොහැකි තරම් අක්මාව දුර්වල වීම ඊට ප්‍රධාන හේතුවයි.

ජෝන්ඩිස් සම සහ ඇස් කහවීමේ තත්වයයි.අක්මාව තදබල ලෙස හානිවීමෙන් සම පුරා තුවාල වැනි කැලැල් දක්නට ලැබිය හැකියි.ඊට හේතුව අක්මාව විසින් බිලිරුබින් නම් වර්ණක නිසි ලෙස බැහැර නොකිරීමයි.බිලිරුබින් යනු පැරණි රතු රුධිර සෛල බිඳී යාමේදි නිකුත්වන කහ පැහැති වර්ණකයකි.සිරුර තුළ මේවා අධික මට්ටමකට පත්වීමෙන් සම හා අස් කහ පැහැයකට හැරිය හැකියි.

ආහාර අරුචිය ආහාර වලට ඇති ප්‍රියතාව නැතිවීම සිරෝසිස් තත්වයේ රෝග ලක්ෂණයකි.රෝගී වූ අක්මාව නිසා සිරුරේ පීඩාකාරී අපහසුතා වර්ධනය විය හැකියි(විශේෂයෙන් යටිබඩ ආශ්‍රිතව).බර ආහාර හා අධික ලෙස ආහාර ගැනීම සිරුරේ මෙම ප්‍රදේශයට පීඩා ඇතිකරයි.අත්දකින අපහසුතා නිසාම ආහාර ගැනීම කෙරෙහි ඇති රුචිය අඩුවීයයි.

බර අඩුවීම සිරෝසිස් තත්වයෙන් පෙළෙන පුද්ගලයින්ගේ බර සාමාන්‍ය පුද්ගලයින්ට සාපේක්ශව ඉක්මනින් අඩුවිය හැකියි.පෙර මෙන් සිරුරට ආහාර ජීර්ණය කිරීම පහසු නොවන නිසාම ඇතිවන අපහසුතා හේතුවෙන් පුද්ගලයාගේ ආහාර පාන රටාවේ වෙනස්කම් ඇතිවිය හැකියි. බොහෝවිට ආහාර පාන ගන්නා ප්‍රමාණයන් අඩුවී යයි.නිසි පෝෂණයක් නොමැතිකම ද බර අඩුවීමට හේතුවෙයි.

අප්‍රාණිකබව හා තෙහෙට්‍ටුව සිරුරට පෝෂක නිසි පරිදි ජීර්ණය කළ නොහැකි නිසා මේ තත්වය මතුවෙයි. නිසි පෝෂණයක් නොමැතිකමින් සිරුරට අවශ්‍ය ශක්තිය නොලැබෙයි.එම නිසා දවස පුරා අධික මහන්සියක් ඇඟට දැනෙයි.මාංශ පේශී දුර්වල වීමට පටන්ගනියි.සිරෝසිස් රෝගින් අතරින් 40%ක් පමණ පිරිසක් මේ තත්වයට ගොදුරුවන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

සම කසනසුලු ගතිය පැහැදිලි හේතුවක් නැතිව දිගු කාලයක් පුරා සමේ කැසිල්ලක් පැවතීම සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි. ඇතැම් විට ඔබේ අක්මාව මෙම රෝග අවදානමේ තිබෙනවා විය හැකියි.සිරෝසිස් තත්වයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සමට පහළ ස්තර වල පිත ලවණ අධික ලෙස තැන්පත්වීමට පටන්ගනියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සම තදබලව කැසීමට පටන්ගත හැකියි.

මකුළුවන් හැඩැති නහර (spider veins) සමෙන් ඉහළට ඉලිප්පුණු නිල් පැහැති නහර පොකුරු දක්නට ලැබේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සම පරික්ෂා කරගන්න.මත්පැන් බලපෑමින් ඇතිවන සිරෝසිස් රෝගයේදී මකුළුවන් හැඩැති නහර මතුවීම පොදු රෝග ලක්ෂණයක් ලෙස සැළකෙයි.

මෙම රෝගය උඩුදිවීමෙන් කුමක් සිදුවිය හැකිද? සිරෝසිස් තත්වය උත්සන්න වීමත් සමඟ ශරීරයට පෙර මෙන් සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී වීමට නොහැකි වෙයි.අක්මාවේ පමණක් නොව සිරුරේ වෙනත් අවයව ආශ්‍රිතව පවා බොහෝ සංකූලතා මතුවිය හැකියි.වකුගඩු අකරණිය (අක්‍රීයවීම) හා අක්මා පිළිකා වර්ධනය වීම ඒ අතරින් ප්‍රධානයි.පිත ස්‍රාවය වීම අවහිර වන නිසා ඒවා අක්මාව තුළ ගල් වී පිත්තාශ්ම හෙවත් පිත් ගල් (gallstones) සෑදෙන්නට පටන්ගත හැකියි.දෙවන කාණ්ඩයේ දියවැඩියා අවදානම ද වැඩිවෙයි.අක්මාව හරහා ක්‍රමවත්ව රුධිරය ගමනාගමනය නොවීමෙන් නොයෙකුත් ගැටලු වර්ධනය වෙයි.esophageal varices යනු ඊට උදාහරණයකි. මේ තත්වයේදී නිසි ලෙස අක්මාව හරහා ගමන් නොකරන රුධිරය අන්නස්‍රෝතයේ නහර වෙත ඇදී ගොස් එකතු වීමෙන් එම නහර ඉලිප්පීමට පටන්ගනියි.

පීඩාකාරී රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.