ගොඩක් අය පැණි රසයට ඉතා ප්‍රියයි.ඒ නිසාම එවැනි අය දිනකට අධික ලෙස සීනි අඩංගු ආහාර පරිභෝජනය කරන්න පෙළඹෙනවා. පැණි රස ආහාර දිව පිනවනවා වුණත් ඒවා අධිකව පරිභෝජනය කිරීම අපේ සෞඛ්‍ය පිරිහීමට හේතුවෙයි. සීනි ආහාර බහුලව පරිභෝජනයට ගැනීම දියවැඩියාව, ස්ථූලතාව ඇතුළු සෞඛ්‍ය ගැටලු වලට මූලික විය හැකියි.
ඔබේ සිරුරේ මෙවැනි ලක්ෂණ දැකිය හැකි නම් බොහෝ විට ඒ ඔබ අධිකව සීනි පරිභෝජනය කරන කෙනෙක් බව පෙන්නුම් කරන සංඥා විය හැකි බව මතක තබාගන්න!

- ආහාර ජීර්ණ මාර්ගය ආශ්‍රිත ගැටලු ආහාරපාන ක්‍රමවත්ව ජීර්ණය නොවීම ප්‍රධානම ගැටලුවක් ලෙස මතුවිය හැකියි.උදරයේ පීඩාකාරී කැක්කුම් ඇතිවෙයි. මෙවැනි ගැටලු නිසා නිතිපතා මලපහ පිටවීම අක්‍රමවත් වී යයි.අධික සීනි පරිභෝජනය පාචනය වැනි තත්වයන්ට ඇතිකළ හැකියි.සීනි බඩවැල් තුළ අපහසුතා ඇති කරයි.ඒවා මඟින් බඩවැල් තුළ හිතකර බැක්ටීරියා ගණනාවක්ම විනාශ කර දමයි. මේ තත්වය leaky gut syndrome නම් වේ.උදර පේශී කැක්කුම් සහ බඩ පිපුම ඇතිවෙයි. නිතර මෙවැනි තත්වයන් ඇතිවේ නම් ඔබේ දෛනික සීනි පරිභෝජනය අඩුකරන්න.
- ව්‍යාකූලබව (brain fog) අධික සීනි ආහාර පරිභෝජනය ඔබේ ප්‍රජානන හැකියාවන්ට බලපෑම් කරයි. මොළයට ඇතිවන බලපෑම් නිසා අවධානය සහ මානසික ඒකාග්‍රතාව ගිලිහෙයි.මතක ශක්තිය දුර්වල බවක් දැනෙයි.සිරුරේ ඉන්සියුලින් නිසි ලෙස භාවිත කිරීමට නොහැකිව රුධිර සීනි මට්ටම් ඉහළ යාම (හයිපර්ග්ලයිසීමියා තත්වය) නිසා ප්‍රදාහය ඇතිවී මොළයට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමට පටන්ගත හැකියි. මොළයේ ක්‍රියාකාරීත්වයට ග්ලූකෝස් අවශ්‍ය වුව ද ඒවා අධිකව ලැබීමෙන් මොළයට බාධා ඇතිවෙයි.
- දිගින් දිගටම කුරුලෑ මතුවීම අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් සමේ නීරෝගි බව දුර්වල වී යයි. සම පුරා රතු කුරුලෑ බිබිලි රැසක් එකවර මතුවිය හැකියි.නව යොවුන් වියේදී හෝර්මෝන වෙනස්කම් නිසා කුරුලෑ මතුවීම සාමාන්‍ය වුව ද වැඩිහිටි වයසේදී බහුලව කුරුලෑ බිබිලි මතුවීම බොහෝ විට ඔබ දියවැඩියා අවදානමින් පෙළෙන බවට අවදානම් සංඥාවක් විය හැකියි.
- සන්ධි වේදනාව දිගින් දිගටම පවතින සන්ධි වේදනාව ආතරයිටිස් රෝග ලක්ෂණයක් ද විය හැකියි.ඇතැම් විට දුර්වල ආහාර පාන රටාව ද සන්ධි වේදනා ඇතිවීමට බලපෑ හැකියි. රූමටොයිඩ ආතරයිටිස් තත්වයෙන් පෙළෙන රෝගීන් සෝඩා බීම සහ පැණි රසකැවිලි ආහාරයට ගත් විට ඔවුන්ගේ රෝග ලක්ෂණ වඩාත් උත්සන්න වනු දැකිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.අධික සීනි පරිභෝජනය සන්ධි තුළ ප්‍රදාහය ඇතිකරන අතර සන්ධි සෙලවීමට නොහැකි තරම් දරදඬු විය හැකියි. විවේකයෙන් ඉන්න විට පවා සන්ධි වල වේදනාව දැනෙයි.

- නින්ද නොයාම ඔබ රෑ නින්දෙන් විටින් විට අවදිවෙනවාද? සුවබර නින්දක් නොලැබීම කෙරෙහි ඔබේ මේ අහිතකර ආහාර පාන පුරුද්ද ද බලපා තිබෙනවා වෙන්නට පුළුවන්.රුධිර සීනි මට්ටම ඉහළ අගයක් ගැනීමේදී සුවබර නින්දක් ලැබීම පහසු නැත.එක දිගට නින්ද නොයා විටින් විට නින්දෙන් අවදි විය හැකියි. නින්දට පෙර පැණි රස හෝ අතුරු ආහාර වර්ග නොගන්න සුවබර නින්දකට නීරෝගි සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු පවත්වාගැනීමත් ඉතා වැදගත්.
- දවස පුරා සිරුරට අධික තෙහෙට්‍ටුවක් දැනීම සුවබර නින්දක් නොලැබෙන විට සිරුරට දැඩි මහන්සියක් දැනෙයි.සීනි බහුල ආහාර පාන ගැනීමත් සමඟ ක්‍රියාශීලී නොමැති ජීවන රටාවක් ගත කිරීම ද මීට හේතුවිය හැකියි. වැඩිහිටි කාන්තාවක් සඳහා පරිභෝජනය කිරීම සුදුසු නිර්දේශිත සීනි මාත්‍රාව ග්‍රෑම් 24ක් වන අතර පිරිමි අය සඳහා එය ග්‍රෑම් 36කි.දිනකදී ඔබ මෙම ප්‍රමාණයට වඩා පරිභෝජනය කරනවා නම් දවස පුරාම නිදිමත ගතියක් දැනීම, විඩාබර බවක් දැනීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
- පීඩාකාරී දන්ත ගැටලු සීනි ආහාර පරිභෝජනය හැකිතාක් අඩු කරන්න යැයි කුඩා කාලයේ පටන්ම අපට වැඩිහිටියෝ උපදෙස් දෙනවා. සීනි බහුල ආහාර පාන ගැනීමෙන් ඔබේ දත් සහ විදුරුමස් වලට ද අහිතකර බලපෑම් ඇතිවෙයි.දත් පණුවන් කෑම, දත් කුහර ඇතිවීම මින් ප්‍රධානයි.මුඛයේ සිටින බැක්ටීරියා මුඛයේදී කෘතිම සීනි එක්කළ ආහාර පාන මඟින් ඇතිකරවන සීනි අම්ල ආහාරයට ගනිමින් වර්ධනය වෙයි. කාලයත් සමඟ දත් සහ විදුරුමස් මෙම බැක්ටීරියාවන්ගෙන් හානියට ලක්වෙයි .දත් කැක්කුම් වැනි ගැටලු නිතර ඇතිවෙයි.
- අප්‍රාණිකබව අධික සීනි පරිභෝජනය නිසා නිතර නිදිමත ගතියක්, සිරුරට පණ නැති ගතියක්, කම්මැලිකමක් දැනිය හැකියි.මෙය ඔබේ කාර්යක්ෂමතාවට සෘණාත්මකව බලපායි. සිරුරේ ශක්තිය හොඳින් පවත්වාගැනීමට කෘතිම හා ක්ෂණික ආහාර පාන පරිභෝජනය හැකිතාක් අවම කරන්න. හොඳින් වතුර බොන්න.

- අධි රුධිර පීඩනය අධික ලෙස පැණි රස ආහාර පාන ගැනීම ඔබේ හෘද සෞඛ්‍යයට හානිකරයි.සීනි සිරුරේ ප්‍රදාහය වැඩිවීමට හේතුවෙයි.මෙය රුධිරයේ පීඩනය ඉහළ යාමට බලපායි.මෙහිදී රුධිරය පොම්ප කිරීම සඳහා දෙගුණයක ආයාසයකින් ක්‍රියාකිරීමට හෘදයට සිදුවෙයි. මෙය hypertension ලෙස හඳුන්වයි.සීනි සහ මේද බහුල ආහාර පාන පරිභෝජනය පුද්ගලයා තුළ හෘදයාබාධ සහ ආඝාතය (අංශබාගය) ඇතිවීමේ අවදානම ඉහළ දමයි. ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා නම් හැකිතාක් සීනි අඩංගු ආහාර පාන වලින් වැළකී සිටීමට උත්සහ කරන්න.
- බර වැඩිවීම සිරුරේ බර (මහත) එන්න එන්නම වැඩිවෙන බව දකින්නට ලැබෙයි නම් බොහෝ විට ඊට හේතුව ඔබේ අධික සීනි පරිභෝජනය විය හැකියි.දිනකට ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය අවම කිරීමට උත්සහ කරන්න.තන්තු,ප්‍රෝටීන්, හිතකර මේද ඇතුළු පෝෂක නොමැති කැලරි සිරුරට ලැබීමෙන් ප්‍රතිඵලයක් නැත. ඒවා හිස් කැලරිය.සිරුරට ලැබෙන්නේ සීනි පමණක් නම් ඉන් බඩගින්න නැතිවන්නේ නැහැ.බඩ පිරෙන්නේ නැති නිසා තව තවත් ආහාර පාන ගැනීමට පෙළඹීමක් ඇතිකරවයි. සීනි ආහාර පාන අවම කිරීම සහ දිනපතා ව්‍යායාම කිරීමට පුරුදුවන්න. සිරුරේ අනවශ්‍ය කැලරි දහනයට එය උපකාරී වෙයි.
- අයහපත් මනෝභාවය (mood) නිතර නොසන්සුන්බවක් හෝ නුරුස්නා බවක් දැනීම අධික සීනි පරිභෝජනයේ අතුරුඵලයක් විය හැකියි.අධික සීනි ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපායි. ඔබේ mood එක නිතර වෙනස්වීමට පටන්ගත හැකියි.සීනි අධික ලෙස ආහාරයට ගැනීම සහ විශාදයීය ලක්ෂණ අතර සෘජු සම්බන්ධතා පවතින බව අධ්‍යයන වලින් සොයාගෙන තිබෙයි.