Health

සුළුවෙන් නොසිතිය යුතු සිරුර ආතතියට පත්ව ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ 10 ක්

කාලයක් තිස්සේ ඔබේ සිතට වද දෙන දෙයක් ගැන සිතමින් සිටීම නිසා ඔබේ මානසික සෞඛ්‍යය මෙන්ම කායික සෞඛ්‍යයත් පිරිහීමට ලක් වී තිබෙන්න පුලුවන්. කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට නිතරම මනසේ නොසන්සුන් බවක්, ආතතියක් සහ කායික වශයෙන් තෙහෙට්‍ටුව සහ පීඩාවක් දැනීම අරුමයක් නොවේ. නමුත්, ඒවා තුලින් ඔබේ සෞඛ්‍යය ඔබ නොහිතන ලෙස පරිහාණියට පත්වේ. වෛද්‍යවරුන් පවසන ආකාරයට ආතතිය විවිධ රෝගාබාධ වැලඳීමට ප්‍රධාන හේතු සාධකයකි. අපගේ සිරුරට ආතතිය දරාගත නොහැකි අවස්ථාවල ඒ බව විවිධ ලක්ෂණ මඟින් පෙන්නුම් කිරීමට පටන්ගනියි.  ඔබේ සිරුරේත් මෙවැනි ලක්ෂණ පහළ වී ඇත්නම් ඔබේ සෞඛ්‍යය තත්වය පිලිබඳව වඩාත් හොඳින් සැලකිලිමත් වීමට කාලය බව මතකතබාගන්න.ඔබේ ශරීරය ආතතියට ලක්වි ඇති බව පෙන්නුම් කරන ඉඟි 10 ක් ගැනයි මේ.

  1. දත් වල වේදනාව මුඛයේ හටගන්නා (විශේෂයෙන්ම හකු වල ) වේදනාව මෙහිදි ප්‍රධානයි.අධික ආතතිය නිසා නින්දේදි දත් මිටි කෑමට පටන්ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකියි.බොහෝ අය තමන් නින්දෙන් දත්මිටිකන බව නොදැනුවත්.හකු වල වේදනාව ඇතිවීමට මේ පුරුද්ද බලපායි.උදෑසන අවදි වූ පසු ඔබට මුඛය ආශ්‍රිත දැඩි පීඩාවක් දැනිය හැකියි.
  1. ආහාර දිරවීම ආශ්‍රිත ගැටලු ඔබ දැඩි පීඩනයකින් සිටිනවා නම් එය ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ද සෘණාත්මකව බලපායි. තීව්‍ර පීඩනය නිසා මොළය සහ ආමාශය අතර සන්නිවේදනය ද තීව්‍ර කරවයි.අධික ආතතිය පාචනය,යටිබඩ මාංශ පේශී පෙරළීම්, මලබද්ධය, බඩපපුවේ දැවිල්ල ආදී නොයෙකුත් ජීර්ණ ගැටලු වලට බලපෑ හැකියි.ආතතිය නිසා ආමාශයේ අධිකව අම්ල ස්‍රාවය වීමට හේතුවන අතර මෙය බඩපපුවේ දැවිල්ල මතුකරවයි.ආතතියේ බලපෑමින් සිරුරේ සාමාන්‍ය ජීර්ණ ක්‍රියාවලිය අඩාල වී යයි. මෙම ගැටලු සතියකට වඩා කාලයක් එකදිගටම පවතියි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
  1. මාංශ පේශී වල තැළුම් ගතිය අධික ආතතියමාංශ පේශී පෙරළීම් කැක්කුම් උත්සන්න කරවයි.ඊට හේතුව කෝර්ටිසෝල් නම් ආතති හෝර්මෝනයි. සිරුර ආතතියෙන් පෙළෙන විට සිරුරේ කෝර්ටිසෝල් මට්ටම් වඩාත් ඉහළ යයි.අධික කෝර්ටිසෝල් මට්ටම සිරුරේ (විශේෂයෙන් බෙල්ල සහ කොන්ද ආශ්‍රිතව)පීඩාකාරී තැළුම් ගතියක් ඇතිවීමට හේතුවෙයි.සිරුර වෙහෙසවා වැඩ නොකළ ද මෙම කැක්කුම් තත්වය ඇතිවෙයි.සම්බාහන කායික චිකිත්සා මඟින් සුවයක් ලැබිය හැකි වුවත් ඔබේ ආතතීය තත්වය සමනය කරගැනීමට උත්සහ කිරීම වඩාත් වැදගත්ය.භාවනා ක්‍රම, ශ්වසන අභ්‍යාස, යෝගා, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් වඩාත් ප්‍රතිඵලදායකයි.
  1. සුවබර නින්දක් ලැබීමට නොහැකිකම ආතතිය බොහෝ විට රාත්‍රී කාලය පුරා පුද්ගලයා අවදිව තබයි.නින්ද ගියද විටෙන් විට නින්දෙන් අවදි වෙයි.සුවබර නින්දක් නොලැබීම පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතුසාධක විය හැකියි.හිතට වද දෙන දේවල් ගැන සිතමින් ඉන්නා විට ඇස් පියාගත්තත් නින්ද යන්නේ නැහැ. හොඳ නින්දක් නොලැබුණු නිසා උදෑසන අවදී වූ පසුත් ඔබේ සිරුරට දැඩි තෙහෙට්‍ටුවක් අප්‍රාණිකබවක් දැනිය හැකියි.කිසිවක් කිරීමට හිත නොදීම බොහෝදුරට විශාදයීය ලක්ෂණයක්.මෙවැනි ලක්ෂණ සුලුවෙන් තැකීම නොකළ යුතුයි. නිසි මනෝ වෛද්‍ය සහය ලබාගැනීමට විශේෂඥයෙකු වෙත යොමුවන්න.
  1. භයානක සිහින දැකීම යම් දෙයක් ගැන නිතර නිතර සිතීම නිසා එය සිහිනෙන් පවා පෙනීමට පටන්ගත හැකියි.සිතට වද දෙන යම් යම් දේවල් ක්‍රමයෙන් යටි සිතට (උපවිඥානයට) ඇතුල් වී නින්ද අතරේදී නපුරු සිහින ලෙස පෙනිය හැකියි.නින්දෙන් අවදි වූ පසු ඔබට සිහිනය මතක නැත්නම් ඉන් අදහස් වන්නේ ඔබේ මොළය උත්තේජක වලට ප්‍රතිචාර දැක්වීම අඩුබවයි.එහිදී නැවත නින්දට යන විට ඔබේ මනසට යම් සැහැල්ලුවක් දැනෙයි.කෙනෙකුට තමන් දු‍ටු සිහිනය මතකයි නම් ඉන් කියවෙන්නේ නින්දේදී ඔහුගේ/ඇයගේ මොළය යම් ක්‍රියාකාරීත්වයකින් යුතුව පවතින බවයි.මේ නිසා එම පුද්ගලයා දකින සිහින ඇතැම් විට විචිත්‍රවත් ලෙස හෝ ඇතැම් විට භයානක ස්වරූපයක් ගැනීමට ඉඩ තිබිය හැකි බවයි. නපුරු සිහිනයක් දු‍ටු පසු ඔබ නින්දෙන් අවදි වන්නේ ඔබව ප්‍රකෘතිමත් කිරීම සඳහා මොළය උත්සහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
  1. අධික ලෙස ජලය පානය කිරීම අධික ආතතියකින් පෙළෙන විට පුද්ගලයාට නිතරම අධික පිපාසයක් දැනිය හැකියි. මෙම නිසා වැඩි වශයෙන් ජලය පානය කිරීමට පෙළඹිය හැකියි.වෙනදාට වඩා ඔබ ජලය පානය කරන්න පටන්ගෙන නම් බොහෝ විට ඉන් පෙන්නුම් කරන්නේ ඔබේ සිරුර විජලනය වී ඇති බව විය හැකියි.සිරුරේ කෝර්ටිසෝල් මට්ටම් ඉහළ යාම නිසා සිරුරේ තරල මට්ටම් සමතුලිතව පවත්වාගන්නා හෝර්මෝන පහළ බසියි.මෙම නිසා සිරුරේ ඉලෙක්ට්‍රොලයිට ඉවත්වී යාම වැඩිවී සිරුර විජලනය වෙයි.අධික ලෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ට දැඩි තෙහෙට්‍ටුවක් දැනෙන්නේ මේ නිසයි.
  1. නිසි තීරණ ගැනීම් අපහසු විම එදිනෙදා ජීවිතයේදී විවිධ දේවල් සම්බන්ධයෙන් අප තීරණ ගන්නවා.මනස සන්සුන්ව ඇති විට තීරණ ගැනීම වඩාත් පහසුයි. එහෙත් ආතතිය නිසා එහෙමත් නැත්නම් සිත කලබල වී ඇති විට තීරණ හා විනිශ්චයන්ට එලඹීම අසීරූය.කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන පැහැදිලි අවබෝධයක් නැතිවෙයි.බොහෝ විට කලකිරුණු ස්වභාවයකින් පසුවෙයි.වැරදි තීරණ නිසා ඔබේ එදිනෙදා වැඩකටයුතු අවුල්ජාලාවක් බවට පත්විය හැකියි. උදාහරණයක් ලෙස අධිකව වැඩරාජකාරී යෙදී ඇති දිනයක වැඩි වෙලාවක් නිදාගැනීමට කාලය වැය කිරීම වගේ දුරදිග නොබලා ගන්න සුලු තීරණයකින් පවා ඔබේ කටයුතු අඩාල වෙන්නට පුළුවන්.
  1. නොනවතින හිසරදය මත්ගතිය හෝ බඩගින්න නිසා ද හිසරදය ඇතිවිය හැකියි.එහෙත් දිගින් දිගටම පවතින සුව නොවන හිසරදය සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි. බොහෝ විට ඉන් ඉඟි කරන්නේ ඔබ දැඩි ආතතියකින් පෙළෙන බව වෙන්නට පුළුවන්. නිතර නිතර වේදනාව අඩු වැඩි වෙමින් පවතින හිසරදය ඔබේ වැඩකටයුතු වලට පවා බාධාවක් විය හැකියි.සිරුරට හොඳ විවේකයක් ලබාගැනීමට උත්සහ කරන්න. භාවනා කිරීම,සරල ව්‍යායාමයක යෙදීම වගේ ක්‍රම වලින් ඔබට යම් සහනයක් සලසාගත හැකිවේවි. හිසරදය සුව නොවෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
  1. මනෝභාවය (mood) වෙනස්වීම නිතර නිතර මනෝභාවය වෙනස්වීම ආතතියෙන් පෙළෙන බවට යම් ලක්ෂණයක් විය හැකියි. ඉක්මනින් තරහ යාම, නුරුස්නා බව,ආවේගශීලීබව,නොසතුට ඉන් කිහිපයක්.මෙය ඔබේ සෞඛ්‍යයට වගේම ඔබේ සමාජ සම්බන්ධතා වලට ද සෘණාත්මකව බලපෑ හැකියි. බොහෝ විට කිසිම හේතුවක් නොමැතිවම අන්  අය කෙරෙහි තරහක් කෝපයක් ඇතිවිය හැකියි.
  1. සිරුරේ බර නිතර අඩු වැඩිවීම බර වැඩිවෙන්නේ අධිකව ආහාර ගැනීම නිසා බවයි බොහෝ අය සිතන්නේ. මෙය ඇත්තක් වුවත් ආතතිය සහ සිරුරේ බර අතර ද යම් සෘජු සම්බන්ධයක් පවතියි.ආතතියෙන් පෙළෙන විට ඕනෑම කෙනෙක් උත්සහ කරන්නේ තමන්ට සතුටක් දැනෙන දෙයක් වෙත යොමුවීමයි. ආතතියට ලක්වී සිටින බොහෝ දෙනා ආහාර පාන වලින් එවැනි සතුටක් ලබන බව සොයාගෙන තිබෙනවා.කෝර්ටිසෝල් මට්ටම් ඉහළ යාම ඇතැම් පුද්ගලයින් තුළ ආහාර රුචිය අඩුකරවයි. ආහාර පාන මගහැරීම නිසා පුද්ගලයාගේ බර අඩුවීමට පටන්ගත හැකියි.සිරුරට නිසි පෝෂණයක් නොලැබීම නිසා ආතතිය මට්ටම තවත් වැඩිවිය හැකියි.ඔබේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි.