Health

තල භාවිතයෙන් සුව කරගත හැකි රෝග 21 ක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය හා චීනය යන රටවල වැඩි වශයෙන් ප්‍රචලිත තල යනු ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍ය විශේෂයකි. එනම් Sesamum indicum නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන  තලවල ඉතිහාසය වසර 5000ක් තරම් ඈත අතීතයට දිවයයි. එදා මෙදා සිට ලෝකය පුරා ආහාරයට ගනු ලබන තලවර්ග කිහිපයකි.

  • සුදු තල
  • කලු තල
  • දුඹුරු තල
  • රතු තල

ආදී වශයෙන් තල වර්ග කිහිපයක්වේ.ලොකු කුඩා සෑම සියලු දෙනාටම ගුණ දෙන තල වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.තන්තු, විටමින් A , E කාබෝහයිඩ්‍රේට්, මේදය,මැංගනීස්,සින්ක්, පොස්පරස්,කැල්සියම්,රයිබොප්ලෙවින්,  සෝඩියම්, පෝලේට්,ලියැසින්… ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන නිසාම
තල ආහාරයට ගැනීම ගුණදායකවේ.

තලවල ඖෂධීය ගුණ

හෘද රෝග ඇති වීම වළක්වයි-හෘද රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහා තල යනු ගුණදායක ඖෂධයකි. එනම් තල ආහාරයට ගැනීමෙන් තල වල අඩංගු පොටෑසියම් රුධිර පීඩනය ඇතිවීම වළක්වා හෘදයට ක්‍රමවත්ව රුධිරය සැපයීම සිදුකරයි. මේ නිසා පීඩනයකින් තොරව හෘදය
ක්‍රියාත්මකවේ. ඒ නිසාම හෘද රෝග ඇති වීම ද පාලනයවේ.

ශරීරය මහත් කරයි.බොහෝ දෙනකු ශරීරයේ බර පාලනය කර ගැනීමට කටයුතු කරන අතර තවත් පිරිසක් ශරීරය මහත් කර ගැනීමට කටයුතු කරයි. එනම් එසේ ශරීරය මහත් කර ගැනීමට හීන දකින ඔබට ඖෂධයක් ලෙස තල භාවිතා කළ හැකිය. එනම් තල විවිධාකාරයට ආහාරයට ගැනීමට අමතරව කිතුල් හකුරු සමඟ තල ඇට හොඳින් මිශ්‍රකර ආහාරයට ගැනීමෙන් ශරීරය මහත් කර ගත හැකිය.

පීනස සමනය කරයි.වයස් භේදයකින් තොරව  බොහෝ දෙනෙකුට පවතින තවත් එක් පීඩාකාරී රෝගයක් ලෙස පීනස හඳුනා ගත හැකිය.එනම් මේ සඳහා තල තෙල් යොදා ගනිමින් ආයුර්වේදය තුළ ප්‍රතිකාර කිරීම සිදුකරනු ලබයි. එනම් තල තෙල් ,මී තෙල් ,ගිතෙල් කාල බැගින් ගෙන භාජනයකට දමා එයට රතු ලූනු ඉස්ම කාලක් සහ මී පැණි කාලක් මිශ්‍රකර ලිපතබා හොදින් කකරවා ඊට ඇටඹ යුෂ බෝතලයක් සහ එරබදු පොතු යුෂ බෝතලයක් දමා මිශ්‍ර කර ඉන්පසුව කොට්ටං, වැල්මි සහ දුරු යන සියල්ල ගෙන හොඳින් අඹරා ඉහත මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කර තෙල් සිඳ පීනස ඇති රෝගීන්ගේ හිසෙහි ආලේප කිරීමෙන් එම රෝග තත්ත්වය සුව කරගත හැකිය.

ඉරුවාරදය සමනය කරයි.වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින තවත් රෝගයක් ලෙස ඉරුවාරදය හැඳින්විය හැකිය. එනම් මෙම රෝග තත්ත්වය සුව කර ගැනීම සඳහා තල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉරුවාරදය ඇති විටක තල ඇට ස්වල්පයක් ගෙන එළකිරි වලින් අඹරා නළලෙහි පැලැස්තරයක් මෙන් ආලේප කිරීමෙන් ඉරුවාරදය සුව කරගත හැකිය.

මුත්‍ර ගල් ඉවත් කරයි.වර්තමානයේ වන විට අප ගත කරනු ලබන කාර්යබහුල ජීවන රටාව සමඟ ගනු ලබන ආහාර රටාවද වෙනස් වී තිබේ මේ නිසාම බොහෝ දෙනෙකු මුත්‍ර ගල් ඇති වීමේ රෝග තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබේ. එනම් මුත්‍ර ගල් දියකර ගැනීමට භාවිතා කළ හැකි ස්වභාවික ඖෂධයක් ලෙස තල හැඳින්විය හැකිය. එනම් තල දඬු තම්බා එම වතුර පානය කිරීම මගින් මුත්‍රා ගල් දියකර හැරිය හැකිය.

වැඩිවියට පත්වීම පමා වූ ගැහැණු ළමුන්ට ගුණදායකය.වැඩිවියට පත්වීම ප්‍රමාද වෙන ගැහැණු ළමුන් සඳහා ඖෂධයක් ලෙස තල ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මේ සඳහා තල දඬු යොදා ගනිමින් සකසා ගන්නා කසාය ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. එනම් මෙම කසාය සකස් කිරීම සඳහා තල දඬු කොළ ගෙන වතුර පත අටක් දමා පත එකට සිඳුවා උදේ සවස පානය කිරීමට ලබාදීම ගුණදායකය.

චර්ම රෝග සුව කරයි.බොහෝ දෙනෙකුට පවතින දද, කුෂ්ඨ ,තුවාල ආදී චර්ම රෝග සමනය කිරීම සඳහා තල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා රතු ලූනු ගෙඩි කිහිපයක් ගෙන හොඳින් කොටා එම යුෂ අව්වේ කකාරා එම ප්‍රමාණයටම ගැළපෙන පරිදි තල තෙල් මිශ්‍රකර සමේහි ඇති දද, කුෂ්ඨ, තුවාල  ඇති ස්ථානවල ආලේප කිරීමෙන් එම චර්ම රෝග සුව කරගත හැකිය.

  • හෝමෝන නිෂ්පාදනය කිරීමට.
  • රක්ත හීනතාවය සමනය කිරීමට.
  • මව්කිරි වර්ධනය කිරීමට.
  • ගර්භනී කාන්තාවන්ට.
  • ඔසප් වේදනා සමනය කිරීමට.
  • ශරීරයේ එන්සයිම ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට.
  • ඇස් පෙනීම වර්ධනය කිරීමට.
  • සන්ධි රෝග සමනය කිරීමට.
  • කුඩා දරුවන්ට.
  • පිළිකා ඇති වීම වැළැක්වීමට.
  • ශරීරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමට.
  • රතු රුධිරාණු වර්ධනය කිරීමට
  • රුධිර පීඩනය අඩු කරගැනීමට
  • අස්ථි රෝග සුව කිරීමට.
  • ශරීරයේ අහිතකර විෂ ඉවත් කිරීමට.
  • ස්නායු ආබාධ ඇතිවීම වැළැක්වීමට.
  • සමෙහි තෙතමනය රැක දීමට.
  • හිසකෙස් වර්ධනය කිරීමට.
  • වාත රෝග සමනය කිරීමට.
  • තරබාරු බව පාලනය කිරීමට.

මේ ආදී රෝග සමනය කිරීමට තල ආහාරයට ගැනීම ගුණදායකය. එමෙන්ම තල ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු අවස්ථා ද පවතී. එනම් උදර ආශ්‍රිත රෝග ඇතිවිට වමනය, ඔක්කාරය ඇති විටක, හුස්ම ගැනීමට අපහසු වූ විටක තල ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
මීට අමතරව තල යොදාගෙන ආයුර්වේදය තුළ නොයෙක් ඖෂධ වර්ග නිෂ්පාදනය කර තිබේ. එනම් සරස්වතී තෛලය ,බ්‍රහ්ම සරස්වතී තෛලය ,භණ්ඩමාල තෛලය ආදී තෛල වර්ග බොහොමයක් වෙළඳපොලින් මිලදී ගත හැකිය.