Health

පීනස නිට්ටාවටම සුව කරගන්න ආයුර්වේද පිළියම් 12 ක්

පීනස කියන්නේ දරුවන් වගේම වැඩිහිටියන් බොහෝදෙනෙක් පීඩා විදින රෝගයක්. නිතර කිවිසුම් යාම, සොටු දියර ගැලීම, නාසය අවහිරවීම හා හිසේ බර ගතිය ආදී බොහෝ රෝග ලක්ෂණ මේ රෝගය තුළින් හඳුනා ගන්නට පුළුවන්. මේ අපහසුතා නිසාම අපේ පෙනුම පවා වියපත් බවක් ගන්නවා. මේ පීනස ඇතිවෙන්නට පාරම්පරික සහ පාරම්පරික නොවන හේතු බලපානවා. වැඩි වශයෙන් ආහාර සහ අපගේ වැරදි චර්යාවන් නිසාවෙන් මේ රෝගය ඇතිවෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පීනස මුල් කාලීනව නිට්ටාවටම සුවකර ගන්නටත් රෝගය උත්සන්න වීමටත් අපගේ වැරදි චර්යාවන් බොහොමයක් බලපානවා. ඒ නිසා මේ රෝගය සුව කරගන්නට වෙදකම වගේම හෙදකමත් අනිවාරයෙන් අවශ්‍ය වෙනවා.

පීනස කෝටරක ආසාදනය වීමෙන් ඇතිවන තත්ත්වයක්. මෙය ඇති වන්නේ අසාත්මිකතා නිසාවෙන්. මේ අසාත්මිකතාවයේදී අධික ලෙස ශ්ලේශ්මල (සෙම්) නිෂ්පාදනය වෙනවා. ඒවා සොටු දියර විදියට නාසයෙන් පිටතට ගලා එනවා. මෙසේ අසාත්මිකතාව ඇති වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වූ විටයි.

මේ පීනස් රෝගයෙන් වැළකෙන්නට වගේම ඉතා ඉක්මනින් නිට්ටාවට සුව කර ගන්නටත් අනුගමනය කළ යුතු පිළිවෙත් වගේම ප්‍රතිකාරත් පවතිනවා.

පීනස් රෝගයෙන් අත් මිදෙන්නට කළ හැකි දේ 

  • අසාත්මිකතා ඇතිවන ද්‍රව්‍ය වලට නිරාවරණය නොවී සිටීම.
  • අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම 
  • විදුලු පංකාව ඇද ඇතිරිලි කොට්ට මෙට්ට දූවිලි ගසා පිරිසිදුව තබා ගැනීම.
  • නිවසට හා ගෙවත්තට හොඳින් හිරු එළිය ලැබීමට සැලැස්වීම. 
  • බූල් සහිත රෙදි හා සෙල්ලම් බඩු භාවිතයෙන් වැළකීම. 
  • පූසන් බළලන් වැනි සතුන්ගෙන් ඈත්වී සිටීම. 
  • දුම්පානයෙන් වැළකීම 
  • විදුලු පංකා හෝ වායු සමීකරණ යන්ත්‍ර අවම වශයෙන් භාවිතා කිරීම.  
  • ශීතකල ආහාර වර්ග ගැනීමෙන් වැළකීම. 
  • උදේ කාලයේදී ස්නානය කිරීම හා හිසකෙස් හොඳින් වියළා ගැනීම .
  • නිතර උණු වතුර පානය කිරීම  
  • පලතුරු බීම, තක්කාලි, අන්නාසී, අච්චාරු වර්ග, කිරි,බිත්තර අයිස් ක්‍රීම් ආදියෙන් වැළකී සිටීම . විශේෂයෙන්ම රාත්‍රී  කාලයේදී සීත ආහාර නොගැනීම.
  • මල මුත්‍ර වේග දැරීමෙන් වැළකීම.
  • නෙල්ලි, අඹ, දොඩම් නාරං වැනි පලතුරු ආහාරයට ගැනීම. 
  • ගොටුකොළ, රතුළූණු, කතුරු මුරුංගා වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම .
  • කෝලිකුට්ටු, සීනි කෙසෙල් ආහාරයට එකතු කර ගැනීම.   

 ඖෂධ ලබා ගැනීම -ප්‍රතිකාර ලබා ගැනීමේදී ඒවා නිසිපරිදි ලබාගත යුතු වෙනවා.හිතුමතේට පමණක් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පිරිටන් වැනි ඖෂධ භාවිතා කිරීම සුදුසු නැහැ.මෙහිදී එක් කාලයකට පමණක් වැළදෙන (Seasaonal Rhinitis ) පීනස් රෝගයේදී ඒ රෝගීන් ඒ කාලසීමාවේදී පමණක් ඖෂධ වර්ග ලබා ගත යුතු වෙනවා. දීර්ඝ කාලීනව පීනස් රෝගය පවතින අයෙක් නම් මේ ඖෂධ වැඩි කාලයක් භාවිතා කළ යුතු වෙනවා.රෝග ලක්ෂණ සුව අතට හැරීමත් සමඟ ඖෂධ අඩුකර නවතා දැමිය හැකියි.

ස්ටිරෝයිඩ් වර්ගයේ ඖෂධ භාවිතය මේ ඖෂධ භාවිතයෙන් සෙම් සොටු ගැලීම් වළක්වනු ලබනවා.ඒ සඳහා මේ ඖෂධය මාස දෙකක් තුනක් වැනි දීර්ඝ කාලයක් ලබාගත යුතු වෙනවා.

පීනස් රෝගයට අත් බෙහෙත් 

1. දිගින් දිගටම සාමාන්‍ය මට්ටමින් පීනස තිබෙන අයෙකුට දවසක් හැර දවසක් මේ කසාය සකසා ගෙන පානය කරන්නට හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය  

  • ගොටුකොළ දඩු මිටක්
  • වළගසාල් මිටක් 
  • රතු ළූණු ගෙඩි 7 ක් 

මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් සෝදා එයට වතුර කෝප්ප 7 ක් එකතු කර එක කෝප්පයට හින්දවා පානය කළ යුතුයි. මෙය වඩා සුදුසු වන්නේ පීනස අලුතෙන්ම වැළදුණු අයටයි.

2. අවශ්‍ය  ද්‍රව්‍ය  

  • වෙද (කුඩා පත්‍ර  සහිත )ගොටුකොළ මිටක්
  • රතු ළූණු ගෙඩි 7 ක් 

හොඳින් සෝදා පිරිසිදු කරගත් මේ ද්‍රව්‍ය දෙක වංගෙඩියක දමා හොඳින් කොටා රෙදි කැබැල්ලක් ආධාරයෙන් යුෂ ටික ලබා ගන්න.මේ යුෂ උදේ සවස පානය කිරීමෙන් මූලික අවස්ථාවේ පීනස සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකියි.

3. අවශ්‍ය ද්‍රව්‍ය  

  • වෙද ගොටුකොළ මුල්
  • කරදමුංගු 
  • රතු ළූණු 

මැටි මුට්ටියක් ගෙන එයට ගොටුකොළ මුල් මිටක ප්‍රමාණයක්, රතු ළූණු ගෙඩි 8 ක් සහ තලා ගත් කරදමුංගු 3-4  ක් පමණ එකතු කර ඒ සියල්ල වැසෙන ප්‍රමාණයට ජලය එකතු කරන්න. ඉන්පසු මද ගින්නේ විනාඩි 30 ක් පමණ තම්බා උදේ  සවස පානය කිරීම ගුණදායකයි.

4. සතියකට දෙවතාවක් කොල්ලු තම්බා ආහාරයට ගැනීම හා කොල්ලු තැම්බූ වතුර පානය කිරීම .

5. අරළු, බුළු, නෙල්ලි කොත්තමල්ලි, සුදු හදුන්, තිප්පිලි ආදි වර්ග පිටිකර වෙන වෙනම ගෙන එයින් තේ හැදි 2 බැගින් මුසුකර මී පැණිවලින් හොඳින් කලවම් කර සාදාගත් ගුලියක් පිරිසිදු වතුර වීදුරුවක් සමඟ පානය කිරීම.

6. වියළි ඉඟුරු, අරළු සම සමව ගෙන කබලේ බැඳ කුඩුකර උතුරන වතුරට දමා හොඳින් පෙරා පානය කිරීමෙන් කල් ගිය පීනසට පවා සුවයක් ලබා ගන්නට පුළුවන්.

7. මුං ඇට පියලි කැකුළු හාල් සමව ගෙන අඹරා ඇල්දියෙන් හිසේ ගා දින තුනක් ස්නානය කිරීම සුවගෙන දෙයි.

8. කරාබු නැටි, සාදික්කා, වසාවාසි, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සහිද ලුණු,  සමව ගෙන චූර්ණ කර උදේ දවල් සවස දුම් ඇල්ලීම හෝ නස්‍ය  කිරීම 

9. ගොටුකොළ කොටා ලබාගත් යුෂ මඳක් රත්කර ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා උදෑසන පානය කිරීම.

10. වියළි කහ, වියළි ඉඟුරු කුඩු, තැඹිලි ගෙඩියකට දමා රැයක් එළි වෙන්නට තබා හිස් බඩ පානය කිරීම.

11. ඉඟුරු පියලි, පිටවක්කා, තිප්පිලි, නෙළුම් අල ,සුදු ළූණු, ගම්මිරිස් කළං දෙක බැගින් ගෙන කසාය පිළියෙල කර පානය කිරීම .

12. වියළි කහ, වියළි ඉඟුරු කුඩු කර තේ හැන්දක් උණු වතුර කෝප්ප භාගයකට දමා තම්බා මී පැණියෙන් පානය කිරීම.

සැලකිය යුතුයි.මේ උපදෙස් ප්‍රතිකාරයන් ලෙස භාවිතයට ගන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න.