Health

මාරාන්තික ආබාධ ඇති කරන පීනස හැදෙන්න හේතු සහ රෝග ලක්ෂණ 10 ක්

පීනස කියන්නේ අද සමාජයේ අඩකට වැඩි පිරිසක් පීඩා විඳින රෝගී තත්ත්වයක්. පීනස ජීවිතයේ එදිනෙදා කටයුතුවලට දැඩි ලෙස බලපෑම් කරනවා. ඒ නිසා බොහෝ අය මැසිවිලි නගන රෝගයක් තමයි පීනස කියන්නේ. බොහෝ අය මේ රෝගය එතරම් නොසලකා හරිනු දකින්නටත් පුළුවන්. නමුත් එය ඉතා දරුණු තත්ත්වයන් ඇති කරන නිසා පීනස කියන රෝගී තත්ත්වය සුළුවට ගත යුතු නැහැ. මේ රෝග තත්ත්වය ඇතිවීමට වගේම සුව කර ගන්නටත් අපේ ආහාර පුරුදු සහ චර්යා රටාවන් ඉහළ බලපෑමක් සිදු කරනවා. ඒ නිසා රෝගය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා තිබීම පීනස රෝගය ඇතිවීම වළක්වා ගන්නට වගේම නිට්ටාවට සුව කරගන්නටත් ඉතා වැදගත්. නමුත් පීනස මුල් කාලයේදී සුව කර නොගත්තොත් එය නිදන්ගත රෝගයක් බවට පත්වෙනවා.

පීනස (Rhinitis )

ආයුර්වේදයට අනුව පීනස කියන්නේ නාසා රෝගයක්. ආයුර්වේදයේ නාසා රෝග 31ක් ඇති අතර එයින් එකක් තමයි පීනස කියන්නේ.පීනස් රෝග වර්ග 18 ක් තියෙනවා.පීනස කියන්නේ අසාත්මිකතාවයක්. ශරීරයට ආගන්තුක යමක් ඇතුළු වුණොත් එයට විරුද්ධව සටන් කරන්නට සිරුරේ ප්‍රතිදේහ පුරුදු වී සිටිනවා. ඒ නිසා ශරීරයට ඇතුල් වෙන විෂබීජවලට විරුද්ධව සටන් කරන්නේ මේ ප්‍රතිදේහවලින්. ශරීරයේ හිස ප්‍රදේශයට සම්බන්ධ ගලනාලය, ශ්වාසනාලය ආදියේ ශ්ලේශ්මල පටල (සෙම) කියන තුනී පටක ආසාදනය මෙහිදී සිදුවෙනවා.ඒ ක්‍රියාවලිය ගෙලේ අභ්‍යන්තරයට අහිතකර ලෙස බලපාන අතර ඇස්වලට කන්වලට පීඩා ගෙනදෙනවා.

මේ රෝගී තත්ත්වය ඇතිවෙන්නට විවිධ හේතු පවතිනවා. ඒ අනුව පාරම්පරිකව හෝ පාරම්පරික නොවන ලෙස මේ පීනස් තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්.මේ රෝගයේදී නාසය සහ නාසය සම්බන්ධ කෝටරක වැනි කොටස්වල බිත්ති ඉදිමීම සහ ඒවා ආශ්‍රිතව වැඩිපුර ශ්‍රාවයන් පිටවීම සිදු වෙනවා.මේ රෝගී තත්ත්වය ඇතැම් අයට කෙටිකාලීනවත් ඇතැම් අයට දිගුකාලීනවත් පීඩා ගෙන දෙනවා.

මේ පීනස් රෝගය ඕනෑම වයසක පසුවන පුද්ගලයෙක්ට වැළදිය හැකි නමුත් ළමුන් තුළ මේ රෝගය වැඩි වශයෙන් දකින්නට පුළුවන්. ඒ අනුව ළමුන්ගෙන් 30% -40% ක් තරම් ප්‍රමාණයක් හා වැඩිහිටියන්ගෙන් 10%-20% ක් තරම් ප්‍රමාණයක් මේ රෝගයෙන් පීඩා විදිනවා.

පීනස් වර්ග 

  • ගල් පීනස- නාසය වියළයි. කැස්ස ඇතිවෙයි.මේ තත්ත්වය දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් වැළදිය හැකියි.මේ ගල් පීනස ඇති වෙන්නේ එදිනෙදා වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව පැසවීමෙන්.මේ තත්ත්වය නිසා මුහුණ ඉදිමීම, හිස කරකැවිල්ල, හිසේබර ගතිය ඇති වෙන්නට පුළුවන්. කුඩා දරුවන් කිරි බීම පවා නවතා දමන අතර අජීර්ණ ගතියක් පවා ඇතිවිය හැකියි.මේ ගල් පීනස තදබදය වැඩි නාගරික පරිසර, දිලිදු පැල්පත් වාසීන්ට පහසුවෙන් වැළදෙන පීනස් වර්ගයක්. ඒ හැරුණාම ගල් පීනස සෙම්ප්‍රතිශ්‍යාව වැළදී තිබියදී පිහිනුම් කටයුවල යෙදීමෙන් ද වැලදිය හැකියි.
  • ලේ පීනස – මේ තත්ත්වයේදී නාසයෙන් රුධිරය වහනය වෙයි.
  • ළය පීනස – හතිය ඇති කරයි
  • නාග පීනස- හිස ගිනියම් වෙයි
  • ගුල්ම පීනස – වමනය ඇති වෙයි 
  • සන්නි පීනස – හිසේ කැක්කුම හා කරකැවිල්ල ඇති  කරයි.
  • දිය පීනස – නාසයෙන් සොටු ගලයි
  • ගඳ පීනස – නාසයෙන් දුගඳ හමයි
  • වා පීනස  – හිසරදය ඇති කරයි
  • සෙම් පීනස- නිතර සෙම ඇතිවෙයි. සීතල දැනෙයි
  • පඩු පීනස – ඔක්කාරය ඇතිවෙයි
  • සොටු පීනස – සුදු පැහැයෙන් සොටු වැගිරෙයි මේ පීනස් තත්ත්වයන් අතුරින් බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ සෙම් පීනසයි.

පීනස ඇති වෙන්නට බලපාන හේතු

  • ජානමය බලපෑම්
  • උදෑසන අවදිවීම
  • මල්වල පරාග හා සතුන්ගේ මවිල්
  • බල්ලන් බලලුන්ගේ මවිල් සමඟ ඇති දුහුවිල්ල හා ඒ සතුන්ගේ ශරීරයේ ජීවත්වෙන මැක්කන්ගෙන් පිටවන අපද්‍රව්‍ය ආඝ්‍රාණය වීමෙන්
  • බූල් සහිත ඇද ඇතිරිලි සෙල්ලම් බඩු භාවිතය
  • අධික ලෙස මත්පැන් භාවිතය හා දුම්පානය
  • හිසකෙස්වල ජෙල් ගෑම
  • මකුළු දැල්, දුම්, දූවිලි
  • කැරපොත්තන් වැනි සතුන්ගේ මළ මුත්‍රා
  • කුරුල්ලන්ගේ මළ මුත්‍රා  හා පිහාටුවල ඇති දුහුවිල්ල
  • ත්‍රයිරොක්සීන් වැනි හෝර්මෝන අඩංගු පෙති හා අධි රුධිර පීඩනයට දෙනු ලබන ඇතැම් ඖෂධ හේතුවෙන්
  • කාලගුණික විපර්යාස

මේ රෝගය වැළදීමට වගේම රෝගය උත්සන්න වීමටත් මේ කාලගුණ විපර්යාස හේතු වෙනවා.අධික ශීතල,අධික රස්නය, ඉහළ පරිසර ආර්ද්‍රතාවය, වැසිබර තත්ත්වය මේ සඳහා ඍජු ලෙස බලපානු ලබනවා.

  • රාත්‍රියට ස්නානය කිරීම
  • විදුලි පංකා යට නිදා ගැනීම
  • ශීතකරණයේ තැබූ ආහාර නැවත නැවත රත්කර ආහාරයට ගැනීම
  • නිදි වැරීම
  • වායු සමනය කරන ලද කාමරවල ජීවත් වීම
  • රාත්‍රී  කාලයේදී පින්නට හසුවීම  හා එළිමහනේ ගැවසීම
  • ගර්භණී සමයයේදී මව රාත්‍රී  කාලයේ ස්නානය කිරීම, නිදිවැරීම හා ශීත ආහාර ගැනීමෙන් දරුවාට සෙම වැඩිවීම
  • කුඩා දරුවන්ට පිටි කිරිදීම
  • කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව යම් යම් ඖෂධ භාවිතය
  • ශරීරයට ආලේප කරන විවිධ ආලේපන වර්ග
  • කොණ්ඩය ඩයි කිරීමට භාවිතා කරන ඩයි වර්ග

රෝග ලක්ෂණ

  • සීතල ආහාරපාන ගත් විට කිවිසුම් යාම
  • සොටු දියර ගැලීම
  • නළල ප්‍රදේශයේ වේදනාව
  • නාසය කැසීම
  • අකලට හිසකෙස් පැසීම හා හිසකෙස් ගැලවීම
  • කන් ඇසීම දුර්වල වීම
  • දත් මුල් දියවීම හා විදුරුමස්වලින් ලේ ගැලීම
  • කට ගඳ ගැසීම
  • ආහාර අරුචිය
  • නාසය අවහිර වීම
  • නාසය ඉදිමීම
  • උගුර කැසීම
  • කල්ගතවෙත්ම ගඳ සුවඳ නොදැනී යාම
  • නාසය ඉදිමීම
  • ඇස් රතුවීම හා කැසීම
  • සම කැසීම
  • ඇතැම්විට ඇස් පෙනීම දුර්වල වීම
  • ඇස් දැවිල්ල හා නිතර කදුළු ගැලීම

පීනස් රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ඇතිවිය හැකි සංකූලතා

මේ පීනස් රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් හෝ ප්‍රවේශම් නොවුණොත් ඉතා දරුණු ගණයේ සංකූලතා ඇති වෙන්නට පුළුවන්.

  • නාසය සහ මුහුණ ඉදිමීම
  • නාස් කුහරය වැසීයාමෙන් මුඛයෙන් හුස්ම ගැනීමට සිදුවීම හා නාසය සහ කෝටර වෛරස හා බැක්ටීරියා ආසාදනවලට ලක්වීය හැකියි. එයින් දිගුකාලීනව පවතින කෝටරක ප්‍රදාහය වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකියි.
  • නාසයේ මස් දළු ඇතිවීම
  • ඇදුම හෙවත් හතිය ඇතිවීම
  • සමේ කුෂ්ඨ රෝග හා අස්ථි විකෘතිතා ඇතිවීම
  • ශරීරයේ අප්‍රාණික බව
  • කාලයක් පවතින හිසරදයක් ඇතිවීම
  • උගුරේ ආසාදන ඇතිවීම
  • කටහඩ වෙනස්වීම
  • පෙනහලුවල ආසාදන ඇතිවීම
  • මුහුණ දුර්වර්ණවීම
  • මැදකන ආශ්‍රිත ආසාදන ඇතිවීම
  • කන් ඇසීමේ දුර්වලතා  ඇතිවීම