Health

අක්මාවේ රෝග සුව කරන හීන් බෝවිටියා ප්‍රතිකාර 3 ක්

මේ මිහිතලය මත අගය කියා නිම කරන්නට නොහැකි තරමේ ඖෂධීය වටිනාකමින් යුක්ත පැලෑටි තියෙනවා. ඒ අතුරින් ඇතැම් ඖෂධ පැලෑටි අපේ රටට පමණක් ආවේණික ඒවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන හීන් බෝවිටියා ශාකයත් ලංකාවට පමණක් ආවේණික වටිනා ශාකයක්. මෙය දකුණු පළාත් පුෂ්පය විදියටත් ඉතා වැදගත් වෙනවා.බෝවිටියා වර්ග ගණනාවක් ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ රටවල්වල දකින්නට ලැබුණත් හීන් බෝවිටියා ශාකය ලංකාවට පමණක් ආවේණිකයි. 

Melastomataceae උද්භිද කුලයට අයත් හීන් බෝවිටියා ශාකය ශ්‍රී ලංකාවේ තෙත් කලාපවල වගේම අතරමැදි දේශගුණික කලාපයන්වලත් බහුලව දකින්නට ලැබෙනවා. ඒ හැරුණාම ලංකාවේ අනෙකුත් කලාපවලින් ද සොයා ගන්නට පුළුවන්. මේ හීන් බෝවිටියාවල සිංහල නාමය කුරුවීනා. කොහොමනමුත් අද මේ ශාකය මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වෙමින් යාම කණගාටුවට කාරණයක්. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක්.

මේ හීන් බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙක හමාරක් තරම් උස පැලෑටි වශයෙන් දැකිය හැකි අතර එය තරමක් රළු ස්වභාවයක් ගන්නවා. බහු වාර්ෂික ශාකයක් වන මෙහි එකිනෙකට සමාන්තරව පිහිටි පත්‍ර තරමක් ඝන කොළ පැහැයෙන් දකින්නට පුළුවන්. පත්‍රවල මද වශයෙන් බූව දකින්නට පුළුවන්. ඒ වගේම කොළවල ඉරි තුනක් ලෙස රේඛා පවතිනවා.හීන් බෝවිටියා ශාකයේ මල පෙති පහකින් යුක්ත අතර එය දම් පැහැයෙන් යුත් අලංකාරවත් එකක්. පඳුරක් ලෙස වර්ධනය වන හීන් බෝවිටියා ශාකයේ කුඩා අතු ශක්තිමත් බවින් අඩුයි. පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තයි. බෝවිටියා ශාක අතර හීන් බෝවිටියා, මහ බෝවිටියා සහ එළ බෝවිටියා වශයෙන් වර්ග කිහිපයක් පවතිනවා. ඒ අතුරින් හීන් බෝවිටියා රෝග රාශියකටම ගුණදායක ඖෂයක් ලෙසට ජනතාව අතර ප්‍රචලිතයි.

භාවිතයට ගත හැකි ආකාර -හීන් බෝවිටියා ශාකයේ හට ගන්නා කුඩා දම් පැහැ ගෙඩි ඉදුණු පසු පලතුරක් ලෙස ආහාරයට ගනු ලබනවා.මේ හීන් බෝවිටියා පත්‍ර කොළ කැඳ වශයෙන් වගේම දළු ඉතා රසවත්ව සම්බෝලයක් වශයෙන් සකසා ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි දළු මැල්ලුම් වශයෙන් සකස් කර ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.

හීන් බෝවිටියා ශාකයේ ඖෂධීය වටිනාකම 

1.හීන් බෝවිටියා කැඳ

සකස් කර ගන්නා ආකාරය -කැකුළු සහල් ස්වල්පයක් හොඳින් සෝදා හොඳින් තම්බා ගන්න. හීන් බෝවිටියා කොළ කොටා එහි යුෂ වෙන් කර ගන්න. එහි රොඩු ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදු ළූණු බික් 2 ක් හා අමු ඉඟුරු දමා තැම්බූ පසු පොඩි කර මිරිකාගත් පොල් කිරි දමා හොදින් පස්සවා ගෙන ලුණු සහ කොළ යුෂ එකතු කර උතුරවා විනාඩි 3 ක් පමණ හැදි ගා පානය කරන්න. අවශ්‍ය නම් හකුරු සමඟ  පානය කරන්න.

මෙය සකස් කර ගැනීමේදී දියවැඩියාව කොලෙස්ටරෝල් ඇති අය පොල් නොදමා සකස් කරගන්න. කොලෙස්ටරෝල් රෝගීන් සුමානයකට දෙපාරක් මේ හීන් බෝවිටියා කැඳ වර්ගය පානය කිරීම සුදුසුයි.

සැලකිය යුතුයි.

  • හීන් බෝවිටියා කැඳ ඇතුළු ඕනෑම කැඳ වර්ගයක් සකස් කිරීමේදී ලුණු කුඩු නොයොදා ලුණු කැට ස්වල්පයක් එකතු කිරීමට මතක තබා ගන්න.
  • හීන්බෝවිටියා කැඳ රුධිරයේ මේදය අධික පුද්ගලයන්ට ගුණදායකයි.
  • සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. මෙය හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කිහිපයක් ලුණු නොදමා හිස් බඩ පානය කිරීමෙන් සුවය ලැබෙයි.
  • හීන්  බෝවිටියා කැඳ උදෑසන කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
  • සිරෝසීස් වැනි රෝග අවස්ථාවල භාවිතා කළ හැකියි.
  • බඩ පුරවා දැමීම නසාලයි.
  • මුත්‍රා  රෝග දුරු කරයි.
  • අනවශ්‍ය  ලෙස දහදිය දැමීම වළක්වයි.

2.හීන් බෝවිටියා ව්‍යංජනය 

සකස් කර ගන්නා ආකාරය – හීන් බෝවිටියා කොළ හොඳින් තම්බා හොඳින් අඹරා ගෙන එය මැටි මුට්ටියකට දමා එයට සිහින්ව ලියාගත් රතුළූණු, සුදු ළූණු, අමු මිරිස්, කරපිංචා සහ උම්බලකඩ එකතු කරන්න. අවශ්‍ය පමණට තුනපහ, ගොරකා හා සියඹලා එකතු කර දියකිරි දමා ලිප තබා හිදී ගෙන එද්දී මිටි කිරි එකතු කර හොදින් පැහෙන විට ලිපෙන් ඉවත් කර අවශ්‍ය  පමණට ලුණු එකතු කර ගන්න. 

  • සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. 
  • බඩේ ඉදීමීමකින් තොරව කීපවරක් බඩඑලියේ යනවිට හීන්බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් සුවයක් ලඟා කරගත හැකියි.
  • හීන් බෝවිටියා ව්‍යංජනය හා සලාදය දිනපතා දවස 5-7 ත් අතර කාලයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.

3.තම්බා පානය කිරීම 

  • හීන් බෝවිටියා කොළ, පොතු, කඳ, මුල් ආදි සියල්ලේම ඇත්තේ ඉතා ඉහළ ඖෂධීය ගුණයක්. තේ වෙනුවට තම්බා පානය කිරීමෙන් ගුණ රැසක් ලබා ගන්නට පුළුවන්. මෙසේ තම්බා පානය කිරීම අර්ශස් රෝගයට ඉතා ගුණදායකයි. නමුත් සතියකට දෙවරක් තුන්වරක් ඉදහිට පානය කිරීම මිස දිනපතා පානය කිරීම සුදුසු නැහැ.
  • හීන්බෝවිටියා ශාකයම තම්බා පානය කිරීම මුත්‍රා  දැවිල්ල දුරු කරයි.

වෙනත් ඖෂධීය ගුණ 

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
  • පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
  • අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.

හීන් බෝවිටියා, උඩහලු, මොනර කුඩුම්බිය ,මුස්සැන්ද හා යකිනාරං යන ශාකවල කොළ සහ මුං ඇට දමා සාදනු ලබන කැඳ මාසයක් පමණ ආහාරයට ගැනීමෙන් අක්මා රෝගය සුවපත් කරනු ලබනවා. අක්මාවේ දියවුණු කොටස් පවා නැවත ලියලන බව පැවසෙන අතර අක්මා රෝගය සඳහා වන සාර්ථකම ඔසුව මෙය බවටයි සඳහන් වන්නේ. නමුත් මේ කැඳ දිනපතා පානය කිරීම සුදුසු නැහැ. දවසක් හැර දවසක් පානය කිරීමෙන් අක්මාවේ දුර්වල වුණු සෛල වර්ධනය කරනවා.

  • ලේ පිරිසිදු කරයි. එබැවින් දද කුෂ්ට ආදිය දුරු කරයි.
  • ආහාර රුචිය ඇති කරයි.
  • හීන් බෝවිටියා ළපටි කොළ සම්බෝලය දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.

ඉතින් හීන් බෝවිටියා ශාකය සෑම නිවසකම තිබිය යුතු පැරැන්නන් විවිධ රෝග සඳහා ආහාර කොටගත් වටිනා ශාකයක්. එබැවින් සෑම නිවසකම වගා කරගත යුතු ඖෂධීය පැලෑටියක්.