Health

අමතර ආදායමක් උපයන්න බඳුන්ගත කහ වගාව සිදු කරන ආකාරය

මුළුතැන්ගෙට නැතුවම බැරි කුළුබඩුවක් තමයි කහ කියන්නේ. ආහාර වර්ණ ගන්වන්නටත්, විශබීජ නසන්නටත් අපූරු හැකියාවක් කහ සතු වෙනවා. අද නම් කහ රත්තරන් වගේම මිල අධිකයි නේ. ඉතින් අද පවතින තරගකාරි වෙළඳපොළ ඉල්ලුමට හොඳ සැපයුමක් දෙන්න පුළුවන් නිෂ්පාදනයක් බවට කහ පත්ව තියෙනවා.කෝරෝනා වසංගත තත්ත්වයත් එක්ක කහ අසාමාන්‍ය ලෙස මිල ඉහළයාමකට ලක්වුණා. ඉතින් තමන්ගේ ගෙවත්තේ කහ වගා කළ අයට නම් ගැටළුවක් නොවුණත් අනිත් පාරිභෝගික ජනතාවට නම් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවුණා.

 ඉතින් පරිභෝජනය අධික වීම නිසා කහ විශාල ප්‍රමාණයක් ඉරානය ඇතුළු මැද පෙරදිග රටවලින්, උතුරු හා දකුණු අප්‍රිකානු ,ජපානය සහ මැලේසියව ආදී රටවල්වලින් ආනයනය කරනවා.කහ මුළුතැන්ගෙට විතරක් නොවෙයි රූපලාවන්‍ය කටයුතුවලටත්, ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් විදියටත් භාවිතා වෙනවා. ඉතින් කහ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ගම්බද ජීවත්වන අයට නම් ඕනෑම භෝගයක් වගා කරන්නට ගෙවත්තේ ඉඩකඩ තිබුණට නාගරිකව ජීවත්වන ඔබට තියෙන්නේ ඉතාම සීමිත ඉඩකඩක් නේ. ඉතින් ඉඩකඩ අඩු ගෙවත්තක වුණත් සාර්ථකව කහ වගා කරන්නේ කොහොමද කියලා අපි සලකා බලමු.

කහ වගා මලු 

කහ වගාව සඳහා බඳුනක් තෝර ගැනීමේදී සිමෙන්ති මැටි ප්ලාස්ටික් වැනි බඳුන් භාවිතා කළ හැකියි. එසේත් නැත්නම් නිවසට සහල්, සීනි, පිටි ආදිය ගෙනෙන ඉවතලන බහාලුම් එනම් පොලිසැක් මලු මේ සඳහා භාවිතා කළ හැකියි.මේ පොලිසැක් මළුවල මනා ජලවහනයක් සිදුවන නිසාත් නඩත්තු කටයුතු පහසුවීම ආදියත්, කහ වගාවට ඉතා යෝග්‍ය තත්ත්වයක් වන බුරුල් කාබනික ද්‍රව්‍ය බහුල වගා මාධ්‍යයක් මෙයින් ලබාගත හැකිවීමත් නිසා සරු අස්වැන්නක් ලබාගත හැකියි. 

මෙහිදී පොලිසැක් මලු කිලෝ ග්‍රෑම් 50 , 25 ගබඩා කෙරෙන ඒවා වීම වඩාත් සුදුසුයි.කිලෝ ග්‍රෑම් 10 මළු භාවිතා කළොත් කහ අල බැස ගන්නට එහි ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා අස්වැන්න අඩුවිය හැකියි.

මේ සඳහා පොලිතින් කවර වුවත් භාවිතයට ගත හැකි නමුත් එහිදී ජලවහනය මනා ලෙස සිදුවීමට ප්‍රමාණවත් පරිදි සිදුරු සකස් කරගත යුතුයි.

මේ වගා මලු ඉතාම සීමිත ඉඩකඩක තැබිය හැකි අතර නඩත්තුවත් පහසු වෙනවා. ඒ වගේම වගාවට ලෙඩ රෝග පැතිරීමත් අවම වෙනවා.

බීජ අල තෝරා ගැනීම 

සිටුවීම සඳහා තෝරා ගත යුත්තේ මාස 10 ක් පමණ හොඳින් මේරූ නීරෝගි අලයි. ඒ මව් අලයක බර ග්රෑම් 30-35 ක් වත් විය යුතුයි. ඒ වගේම වගාවේ දිලීර හානි අවම කර ගැනීම සඳහා මේ අල සිටුවීමට පෙර මැන්කෝසෙබ් දිලීර නාශකයෙන් ග්‍රෑම් 38 ක් ජලය ලීටර් 10 ක දියකර අල විනාඩි 30 ක් එහි ගිල්වා තැබිය යුතුයි. ඉන්පසුව සිටුවීම සඳහා භාවිතා කළ හැකියි.

රෝපණ මාධ්‍ය සැකසීම 

  • මේ සඳහා ගොම හෝ කොම්පෝස්ට් කොටස් 1
  • දිරාගිය කොළ රොඩු සහිත මතුපිට පස් කොටස් 2යි 
  • කපාගත් අමු පොල් ලෙලි 
  • අඩක් පිළිස්සුණු දහයියා 
  • වැලි (ගඟක වැලි නම් වඩාත් සුදුසුයි.) ස්වල්පයක්. මාධ්‍යයට වැලි එකතු කිරීමෙන් ජලවහනය ක්‍රමවත්ව සිදුවෙන්නට උපකාරී වෙනවා.
  • පොල් ලෙලි හැර අනෙක් සියලුම දෑ හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් සාරවත් වගා මාධ්‍යයක් සකසා ගත හැකියි. 
  • ඉන්පසු පොලිසැක් කිලෝ ග්‍රෑම් 50 ක හෝ 25 ක මල්ලක් යොදා ගන්නේ නම් එහි උස භාගයක් වන සේ දෙකට නවාගෙන ඉහළ දාරයේ සිට අගල් 4 ක් පමණ ඉඩ ඉතිරි වනසේ වගා මාධ්‍ය පුරවන්න.
  • එහිදී මුලින්ම පොල්ලෙලි අතුරා ඊට උඩින් වගා මාධ්‍ය අතුරන්න. පුරවා ගත් බදුනට ට්‍රිපල් සුපර් පොස්පේට් ග්‍රෑම් 10 ක් එකතු කර මිශ්‍රකර ගන්න. 
  • සකස් කරගත් අලවලින් ග්‍රෑම් 100 ක් එක් බෑගයක් සඳහා ප්‍රමාණවත් වන අතර ඒ අල ත්‍රිකෝණාකාර සමාන දුරින් සකස් කළ වළවල් තුනක සිටුවිය යුතුයි. එක් වළකට ග්‍රෑම් 30- 35 ක් පමණ වැටෙන සේ දමා සිටුවා ගන්න.

නඩත්තුව 

  • බඳුන් මාධ්‍යයට ප්‍රමාණවත් ලෙස කාබනික පොහොර භාවිතා කරන නිසා රසායනික පොහොර අත්‍යවශ්‍ය  නොවුණත් අවශ්‍ය නම් රසායනික පොහොර යෙදීමට හැකියි. රසායනික පොහොර යොදන්නේ නම්  බීජ සිටුවා මාස 1 ½ සහ මාස 3 කින් මියුරියෙට් ඔෆ් පොටෑසියම් ග්‍රෑම් 10 ක් ජලය ලීටරයක දියකර එක් මල්ලකට බැගින් යෙදිය හැකියි.
  • ඒ වගේම මුල් මාස 5 තුළ දින දෙකකට වරක් ජලය සැපයිය යුතු අතර අනතුරුව අවශ්‍යතාවය අනුව දේශගුණය සහ වගා මාධ්‍යයේ තත්ත්වය සලකා බලා ජලය සැපයිය යුතුයි. 
  • කහ වගාවට 20% – 40% අතර සෙවණ තිබීම ඉතා සුදුසු අතර අවට ගස්වලින් ලැබෙන ස්වාභාවික සෙවණ ඉතාම සුදුසුයි. 
  • ඒ වගේම කහ වගාවට වසුන් යෙදීමත් අනිවාර්ය කාර්යයක් වන අතර බීජ පැල කිරීමෙන් පසුව මලුවල ඉහළ අගල් 2-3 ක තට්ටුවක් ලෙස වසුන් යෙදිය යුතුයි. එයින් තෙතමනය සහ උෂ්ණත්වය රඳවා ගැනීමත් වල්පැළ මතුවීමත් අවම කරයි.වසුන් සඳහා පිදුරු වඩාත් සුදුසු අතර එසේත් නැත්නම් දහයියා, දිරාගිය යතු කුඩු ආදිය යෙදිය හැකියි. 
  • කොළ පොහොරක් ලෙස ග්ලිරිසීඩියා කොළ අතු ද යෙදිය හැකියි. ගිනිසීරීයා වැස්ම මාස තුනක්වත් තිබිය යුතු අතර  දහයියා නම් අවම මාස 5 ක් වත් වසුන තිබිය යුතුයි.ඒ වගේම වසුන දිරාපත් වූ විට අලුතින් එකතු කිරීමත් වල් පැල ගලවා දැමීමත් කහ පැලයේ වර්ධනයට වඩාත් වැදගත්.

අස්වනු නෙලීම හා සැකසීම 

  • කහ පැලය සිටුවා මාස 8- 10 කින් ශාකය පරිණතභාවයට පත්වන අතර එවිට ගස ක්‍රමයෙන් වියලී යනු ලබයි. එවිට පිහියකින් ගස කපා අත් මුල්ලුවකින් අස්වැන්න පරෙස්සමෙන් ගලවා ගත හැකියි.
  • අමු කහ මාස 3ක් පමණ කල්තබාගත හැකි අතර කහ වියළා ඇඟිලි වශයෙන් හෝ කුඩු ලෙසටත් තබාගත හැකියි. ඒ සඳහා තාක්ෂණික ක්‍රම අනුගමනය කළ යුතුයි. එහිදී ගලවා ගත් කහ ඇඟිලි වෙන්කර නටන උණු වතුරේ පැය භාගයක් පමණ තම්බා ගතයුතු අතර එය වාෂ්පයෙන් වුවත් තම්බා ගත හැකියි. 
  • ඉන්පසු තම්බා ගත් කහ පළමු දින තුනේ දී සෙමින් වියළා ගත යුතු අතර තද අව්වේ වේලීම සුදුසු නොවෙයි. තෙවන දිනයෙන් පසු කාල ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරමින් දින 12ක් පමණ තද අව්වේ වියළා ගෙන අව පැහැ පොත්ත ඉවත් කර ගැනීමෙන් වසරක් පමණ තබා ගත හැකියි.