Food

මොණරකුඩුම්බිය කැඳ පානය මගින් සුව කරගත හැකි රෝග 10 ක්

Asteraceae යන උද්භිද කුලයට අයත් මොණරකුඩුම්බිය ශාකය ඕනෑම ප්‍රදේශයක බහුලව දැකගත හැකි ඖෂධීය ශාකයකි.  මෙය බොහෝදෙනෙකු කැඳ සකස් කිරීම සඳහා මෙන්ම ආයුර්වේදයේ නොයෙක් රෝග වලට ප්‍රතිකර්ම කිරීම සඳහා ද භාවිතා කරනු ලබයි. 

මෙම ශාකය මොණරකුඩුම්බිය නමින්  හැඳින්වීමට හේතුව වන්නේ මෙහි පිපෙණ මල් මොණරෙකුගේ හිස මත පිහිටි ශිඛාවේ හැඩයට සමාන වන නිසාය. නමුදු බොහෝ ප්‍රදේශවල මෙය විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. එනම් මඟුල්කුඹුරුවන්න, කොබෙයි කොළ, දුටුසපුටු, වතු පලා ආදී නම්වලින් ද හඳුන්වනු ලබයි. 

බැලූ බැල්මට මෙම ශාකය සෙන්ටි මීටර් තිහක් පමණ උසට වැඩෙන සිලින්ඩාකාර මද බූවා සහිත කඳකින් යුක්තවන අතර සරල පත්‍ර අණ්ඩාකාර හැඩයෙන් යුතුව ඒකාන්තරව පිහිටා තිබේ.  සම්පූර්ණව හෝ කොටස් වශයෙන් කඩතොළු සහිතව දැකගත හැකිය. ශීර්ෂක  රැසකින් සෑදුනු සමතලයක් වූ පුෂ්ප මංජරියේ සුදු පැහැති හෝ නිල් පැහැති මල් හටගනු ලබයි. චර්මලයක් වූ ඵලය තද දුඹුරු හෝ කළු පැහැතිවේ. 

ආයුර්වේදයේ දී මොණරකුඩුම්බිය ඖෂධයක් ලෙස භාවිතා කිරීමට අමතරව  ඕනෑම විටෙක මොනරකුඩුම්බිය භාවිතා කර කැඳ සකස්කරගත හැකිය. 

මොණරකුඩුම්බිය කැද සකස් කරගන්නා ආකාරය. 

  • මොණරකුඩුම්බිය කොළ දෙමිටක්
  • කැකුළු සහල් මිටක් 
  • පොල් කිරි කෝප්පයක් 
  • වතුර කෝප්පයක් 
  • ලුණු ස්වල්පයක් 

මොණරකුඩුම්බිය කොළ  හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා වතුර ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කොටා යුෂ වෙන්කර ගන්න. පසු සහල් සෝදා බඳුනකට දමා  සාමාන්‍ය බතක් පිසින ආකාරයට පිස ගෙන ඊට පොල් කිරි සහ මොණරකුඩුම්බිය කොළ සහ රස පදමට ලුණු මිශ්‍ර කර හොඳින් උතුරවා මදක් නිවුණු පසු හකුරු සමඟ පානය කරන්න. මෙම කැඳ පානය සකස් කර පානය කිරීම මගින් බොහෝ රෝග සමනය කරගත හැකිය. එනම් 

  • ළදරු මාන්දම සුවකර ගැනීමට 
  • ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට 
  • සෙංගමාලය සුව කර ගැනීමට 
  • මුත්‍ර රෝගයන්ට
  • අක්මාව ආශ්‍රිත රෝග සමනය කිරීමට 
  • මොණරකුඩුම්බිය කොළ කැඳ පානය කිරීම ගුණදායකවේ. 
  • මොණරකුඩුම්බිය ශාකයේ ඖෂධීය භාවිතය. 
  • උණ රෝගයට

උණ රෝගය සඳහා ඖෂධයක් ලෙස මොණරකුඩුම්බිය භාවිතා කළ හැකිය. එනම් උණ රෝග ඇති අවස්ථාවක මොණරකුඩුම්බිය ස්වරස තෛලය හිස ගැල්වීමෙන් උණ රෝගය සමනය කරගත හැකිය. 

ශරීරගත ඉදිමුමට.මොණරකුඩුම්බිය මුල් කෂාය මිලිලීටර් දහයක් පමණ දිනකට උදේ සවස පානය කිරීමෙන් ඉදමුම් සහ වේදනාවන් සමනය කරගත හැකිය. 

ශරීර ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කරයි. මොණරකුඩුම්බිය කැඳ හෝ කොළ මලවා ආහාරයට ගැනීම මගින් ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගත හැකිය. ඒ නිසාම ප්‍රතිශක්තිකරණ  පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග තත්ත්වයන්ගෙන්ද ආරක්ෂා විය හැකිය. 

අළුහම් සමනය කරයි.බොහෝ දෙනකුට දේශගුණ විපර්යාස හා ශරීරයේ උෂ්ණය නිසා ඇතිවන අලුහම් රෝගයට මොණරකුඩුම්බිය යුෂ ආලේප කිරීමෙන් සුවය සලසා ගත හැකිය. එනම් මොණරකුඩුම්බිය යුෂ ගෙන දිනපතා අළුහම් ඇති ස්ථානවල ගල්වා පැය බාගයක් පමණ තබා ස්නානය කිරීම ගුණදායකය. 

පණු රෝග සුව කරයි.ඈත අතීතයේ පටන්ම පණු රෝග සමනය කිරීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර භාවිතා කර තිබේ. එනම් පණු රෝගයට ආයුර්වේදයේ බොහෝ ඖෂධ භාවිතා කරන අතර මොණරකුඩුම්බිය ද ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් පණු රෝග සුව කිරීමට මොණරකුඩුම්බිය ඇට කුඩු කර දීමෙන් පණු රෝග සුවය කරගත හැකිය. 

සුදු කබර සමනයට.මොණරකුඩුම්බිය ගෙන තල තෙලින් අඹරා එම ස්ථානවල ආලේප කිරීමෙන් ඒ සඳහා සුවය සලසා ගත හැකිය. එනම් මෙය  දිනපතා භාවිතා කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත හැකිය. 

රක්තහීනතාවය සමනය කරයි.මොණරකුඩුම්බිය කැඳ පානය කිරීම මගින් රතු රුධිර සෛල වර්ධනය කර හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරනු ලබයි. මේ නිසා රක්තහීනතාවෙන් පෙළෙන රෝගීන් සඳහා  මොණරකුඩුම්බිය ගුණදායකය. 

උෂ්ණ බිබිලි සුව කරයි.දේශගුණික විපර්යාස මෙන්ම ශරීරයේ ඇති උශ්නාදික භාවය නිසා හටගැනෙන සැරව බිබිලි සුව කර ගැනීමට මොණරකුඩුම්බිය ශාකයේ මුල් ගෙන හොඳින් පිරිසිදු කර කොටා එම එම යුෂ උෂ්ණ බිබිලි ඇති ස්ථානවල ආලේප කිරීමෙන් එම බිබිලි සුව කරගත හැකිය. 

උගුර ආශ්‍රිත ඇතිවන වේදනාවට උගුරේ ඇතිවන සෙම් ගෙඩි ,බිබිළි ආදිය සුව කර ගැනීම සඳහා මොණරකුඩුම්බිය දලු ගෙන තම්බා එම වතුරෙන් විටින් විට උගුර සහ මුඛය සේදීම මගින් එම වේදනාවන් සුව කරගත හැකිය. 

මුත්‍ර රෝගයන්ට මුත්‍රා දැවිල්ල මුත්‍රා ආශ්‍රිතව ඇතිවන වේදනාව වැනි මුත්‍ර රෝගයන්ට මොණරකුඩුම්බිය ඇට කෂාය කර පානය කිරීම මගින් එම රෝගයන්ට සුවය සලසා ගත හැකිය. 

මේ ආදී වූ  නොයෙක් රෝග සමනය කිරීමට මොණරකුඩුම්බිය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

නමුදු ඔබ අත්බෙහෙත්  භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.